සිසු මරණය: ට්‍රම්ප් උතුරු කොරියාවට දෙහි කපයි

Image copyright Reuters
Image caption මාස පහළොවක් පුරා සිය පුතු පිළිබඳ කිසිදු තොරතුරක් අසන්නට නොලැබුණු බව ඔටෝ වෝම්බියර් ගේ දෙමව්පියෝ පවසති

උතුරු කොරියාව තුළ සිර භාරයේ පසු වූ ඇමරිකානු සිසුවාගේ මරණය පිළිබඳ අදහස් දැක්වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව "කුරිරු පාලනයක්" සහිත රටක් ලෙස හඳුන්වයි.

මාස පහළොවකට වැඩි කාලයක් සිර භාරයේ පසු වූ විසි දෙහැවිරිදි ඔටෝ වෝම්බියර් නැවත ඇමරිකාව වෙත එවීමට උතුරු කොරියාව පසුගියදා කටයුතු කළේය.

"ඔහු වසර එක හමාරක් උතුරු කොරියාවෙ ගත කළා. ගොඩක් නරක දේවල් සිදු වුනා. උතුරු කොරියාව කියන්නේ කුරිරු පාලනයක් සහිත රටක්. ඔවුන්ව පාලනය කරන්න අපට හැකි වේවි" යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේය.

"මොළයට හානි"


ඔටෝ වෝම්බියර් වසරක කාලයක් කෝමා තත්වයේ පසු වූ බව පවසන උතුරු කොරියාව මානුෂීය කරුණු මත පදනම්ව ඔහු නිදහස් කරන බව සඳහන් කළේය.

ප්‍රචාරණ පුවරුවක් සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිර ගත කෙරුණු ඔහු නැවත පියවි සිහියට පැමිණියේ නොමැත.

ඔටෝ වෝම්බියර්ගේ මොළයට දරුණු හානි සිදුව තිබූ බව ඇමරිකානු වෛද්‍යවරු පවසති.

මාස පහළොවක් පුරා සිය පුතු පිළිබඳ කිසිදු තොරතුරක් අසන්නට නොලැබුණු බව ඔහුගේ දෙමව්පියෝ කියා සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර