සෞදියේ ඔටුන්න හිමි කුමරු වෙනස් වෙයි

Image copyright AFP
Image caption මොහමඩ් බින් සල්මාන් කුමරු (වමේ) සහ මොහමඩ් බින් නායෙෆ් කුමරු (දකුණේ)

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා ලෙස තම පුත් මොහමඩ් බින් සල්මාන් කුමරුගේ නම සෞදි රජු විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

මීට පෙර සෞදියේ ඔටුන්න හිමි කුමරු ලෙස වශයෙන් නම්කර තිබුණේ වත්මන් රජුගේ ඥාති පුත්‍රයා වන මොහමඩ් බින් නායෙෆ් කුමරු ය.

සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යවරයා වන සල්මාන් කුමරු ඔටුන්න හිමි කුමරු ලෙස නම් කිරීමෙන් අනතුරුව රටේ උප අගමැති ධුරයට පත්වීමට නියමිතය.

Image copyright AFP
Image caption සෞදි අරාබියේ වත්මන් රජු සල්මාන් බින් අබ්දුල්ලාසිස්

අභ්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි 57 හැවිරිදි නායෙෆ් කුමරු එම තනතුරින් ද ඉවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නමුත් ඔටුන්න හිමි කුමාරයා ලෙස නව පත්වීම් ලද 31 හැවිරිදි සල්මාන් කුමරුට පක්ෂපාතීව කටයුතු කරන බවට නායෙෆ් කුමරු ප්‍රතිඥා දී ඇති බව SPA පුවත් සේවය වාර්තා කර තිබේ.

2015 ජනවාරි මාසයේදී සල්මාන් බින් අබ්දුල්ලාසිස් රජුට ඔටුනු පැළඳවීම සිදුවුයේ එවකට සෞදි රජු වූ සිය ඥාති සොහොයුරු අබ්දුල්ලා බින් අබ්දුල් අසිස් ගේ අභාවයෙන් පසුවය. මේ වනවිට සල්මාන් රජු 81 හැවිරිදි ය.

සෞදි අරාබිය මෙතෙක් පාලනය කරනු ලැබුණේ වයස අවුරුදු 70 හෝ 80 පිරුණු රජවරු විසිනි.

නමුත් 31 හැවිරිදි මොහමඩ් බින් සල්මාන් කුමරු මීළඟ රජු ලෙස නම් කරනු ලැබීම සෞදියේ තරුණ පරම්පරාව දකින්නේ එම තත්වය වෙනස් වෙමින් පවතින බව සනාථ කෙරෙන සලකුණක් ලෙසිනි.