පිලිප් කුමරු රෝහල්ගත කෙරෙයි

Image caption රෝහල්ගත කරනු ලැබීමට පෙර රැජින සමඟ තුරඟ තරඟ නැරඹීමට යමින්

බ්‍රිතාන්‍ය එලිසබත් රැජිනගේ වල්ලභයා වන පිලිප් කුමරු ඊයේ (ජූනි 20)පටන් රෝහල්ගත කරනු ලැබ සිටියි.

පූර්ව ආරක්ෂක පියවරක් ගනිමින් පිලිප් කුමරු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව 'බකිංහැ ම් මාළිගය' මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

පිලිප් කුමරාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් නොමැති බව ඔහුට ප්‍රතිකාර කරන ලන්ඩනයේ රෝහල (King Edward VII Hospital, London) ප්‍රකාශ කරන බවක් බීබීසියට දැන ගැනීමට ලැබී ඇති අතර, ඔහුගේ ශරීර සෞඛ්‍ය වර්ධනය වෙමින් පවතින බව බකිංහැම් මාළිගය පවසයි.

දැනට 96 වැනි වියේ පසුවෙන පිලිප් ආදිපාදවරයා සිය නිල කටයුතු වලින් ඉවත් වෙන බව පසුගිය මැයි මාසයේ ප්‍රකාශයට පත්කළ අතර එම තීන්දුවට රැජිනගේ සහයෝගය ලැබුණි.

මේ අතර එලිසබත් රැජින දිගටම සිය රාජකාරි කටයුතුවල නිරත වෙමින් අද (ජූනි 21) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියැවීමෙහි නිරත වූවාය.

රැජින පාර්ලිමේන්තුව විවෘත කරන උත්සවවල දී පිලිප් කුමරුන් ද චාරිත්‍රයක් වශයෙන් එම අවස්ථාවට සහභාගී වන නමුත් රෝහල්ගත කරනු ලැබීම නිසා ඔහුට මෙවර එම අවස්ථාව අහිමි විය.

එහෙත් ඊයේ (ජූනි 20) පැවැත්වුන තුරඟ තරඟ නැරඹීමට ආදිපාදවරයා සිය බිරිඳ වන එලිසබත් රැජිනත් සමඟ සහභාගී විය.

ආදිපාදවරයා කොපමණ දිනක් රෝහලේ ගත කරනු ඇද්ද යන්න පැහැදිලි නැත.

Image caption 96 හැවිරිදි ආදිපාදවරයා පසුගිය මැයි මාසයේ නිල කටයුතුවලින් ඉවත් විය

සාමාන්‍යයෙන් යහපත් ශරීර සෞඛ්‍ය වාර්තාවක් සහිත පිලිප් කුමරු 2011 සහ 2012 වසරවල ද රෝගාතුර වීමෙන් රැජින කිරුළු පැලඳීමේ දියමන්ති ජුබිලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය.

ගුණදායක ආහාර අනුභව කරන, මඳ පමණට සුරා පානය කරන, නිරතුරුව ශාරීරික ව්‍යායාමවල යෙදෙන පිලිප් කුමරු තවමත් ආධාරයකින් තොරව තරප්පු පේළි නගින අතර මෙයින් අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයකට පෙර එලිසබත් කුමරියගේ අතගත් දිනයේ අඳින ලද නිල ඇඳුමට තමා තවමත් කදිමට ගැළපෙන බව කියා සිටියි.

විහිළු තහළු කීමේ රුචියක් ඇති පිලිප් කුමරු විවාද සම්පන්න ප්‍රකාශන නිසාත් මාධ්‍ය අවධානයට ලක් වෙන චරිතයකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර