පකිස්තානයේ බෝම්බ පිපිරීම්: පිරිසක් මරුට

Image copyright AFP
Image caption දකුණුදිග ක්වෙටා ප්‍රදේශය: මෝටර් රථය තුළ පුපුරන ද්‍රව්‍ය තොගයක් තිබුණු බව පොලිසිය පවසයි

පකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීම් කිහිපයකට ගොදුරු වී අවම වශයෙන් 24දෙනෙකුවත් මරණයට පත්වී ඇති බව එරට බලධාරීහු පවසති.

තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පළමු බෝම්බය දකුණුදිග ක්වෙටා ප්‍රදේශයේ පුපුරා ගොස් ඇති අතර ඉන් මරණයට පත්වූ සංඛ්‍යාව 13කි.

Image copyright AFP
Image caption වයඹදිග ප්‍රදේශයේ පුපුරා ගිය බෝම්බයෙන් තුවාල ලැබුවන්ට අවට සිටි පිරිසගෙන් උපකාර

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පදවාගෙන පැමිණි මෝටර් රථය පොලිස් මුරපොලක දී පරීක්ෂාවට ලක්කරද්දී එම බෝම්බය පුපුරවාගෙන තිබේ.

ප්‍රහාරයේ වගකීම කැරලි කණ්ඩායම් දෙකක් විසින් භාර ගනු ලැබ තිබේ.

පකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ ද තවත් බෝම්බ දෙකක් පුපුරවා ඇති අතර යටත්පිරිසෙයින් එකොළොස්දෙනෙකුවත් මරණයට පත් විය.

Image copyright EPA
Image caption දකුණුදිග ක්වෙටා: පිපිරීම පුළුල් ප්‍රදෙශයකට බලපා ඇත

පළමු පිපිරීම සිදුවීමෙන් අනතුරට පත් අයට උදව් කිරීම සඳහා අවට සිටි පිරිස එතැනට එක්රැස් වූ වහාම දෙවැනි බෝම්බය පුපුරවා හැර තිබේ.

රාමසාන් උපවාසය නිමකිරීම සඳහා අවශ්‍ය ආහාර මිල දී ගැනීමට බොහෝ දෙනා නගරයට රැස්වී සිටි හෙයින් එම ප්‍රදේශය ජනාකීර්ණව පැවතුනි.

Image copyright AFP
Image caption වයඹදිග පකිස්ථානයේ සිදුවූ පිපිරීම