බවුසරය පුපුරා යාමෙන් මරණයට පත් සංඛ්‍යාව 150 ඉක්මවයි

පාකිස්තාන අනතුර Image copyright EPA

ඉන්ධන බවුසරයක් පුපුරා යාමෙන් මරණයට පත් සංඛ්‍යාව 150 ඉක්මවා ඇති බව පාකිස්තාන බලධාරීහු පවසති.

ඉරිදා (ජුනි 25) සිදු වූ අනතුරින් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලත් තවත් විශාල පිරිසක් රෝහල් ගත කර තිබේ.

මරණයට පත් පිරිස අතර දරුවන් 20 දෙනෙකු ද සිටින බව බලධාරීහු කියා සිටියහ.

පොලිසියේ අනතුරු ඇඟවීම් නොතකා පෙරළුණු බවුසරයෙන් ඉන්ධන ලබා ගැනීමට ජනතාව ඒ වෙත එක් රැස් වී තිබේ.

ඒ අසළ දුම්පානය කිරීම ගින්නට හේතු වී ඇතැයි ඇතැමුන් සැක පළ කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

"මළසිරුරු හඳුන ගන්න බැහැ"

Image copyright EPA

සහන සේවකයෙකු කියා සිටියේ බොහෝ මළසිරුරු හඳුනා ගැනීමට නොහැකි ආකාරයෙන් පිලිස්සී ඇති බවය.

මේ අතර පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අනතුර සිදු වූ ස්ථානය වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කළේය.

රථ වාහන නිසි ලෙස නඩත්තු නොකිරීම සහ නොසැලකිලිමත් රිය පැදවීම පාකිස්තානයේ මාර්ග අනතුරුවලට බොහෝ විට හේතු වේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්