ගූගල් සමාගමට ඩොලර් කෝටි 270 ක දඩයක්

Image copyright Google
Image caption ගූගල් වෙළෙඳ ප්‍රචාරණ දැන්වීමක්

යුරෝපා කොමිසම ගූගල්(Google) අන්තර්ජාල වෙබ් අඩවිය ඩොලර් කෝටි 270 ක දඩයකට යටත් කරනු ලැබ ඇත.

එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ ගූගල්(Google) අන්තර්ජාල වෙබ් අඩවිය තම වෙබ් අඩවියේ වෙළෙඳ දැන්වීම් පළ කරන සමාගම් වලට වාසි සහගත මට්ටමින් බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති බව තීන්දු කරමිනි.

තරඟකාරී වෙළෙඳපොලට සම්බන්ධ කාර්යයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසම් විසින් පණවන ලද ලොකුම දඩය මෙයයි.

ගූගල් සමාගම අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ තොරතුරු සැපයීමේ යාන්ත්‍රනය තුළදී වෙනත් තරඟකාරී සමාගම් වලට අසාධාරණයක් සිදු කෙරෙන මට්ටමින් තමන් විසින් සේවා පහසුකම් සලසන සමාගම්වලට වැඩි ප්‍රමුඛත්වයක් දෙන බවට චෝදනා එල්ල වී තිබුණි.

විවෘත වෙළෙඳපොල තරඟකාරීත්වයට පටහැණිව එලෙස කටයුතු කිරීම දවස් අනූවක කාලයක් ඇතුළත නතර කරන ලෙස ගූගල් සමාගමට උපදෙස් දෙන යුරෝපා කොමිසම, එම නියෝගයට පටහැණිව කටයුතු කළොත් තවත් අමතර දඩ ගැසීම්වලට යටත් විය හැකි බවට ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරයි.

ඉහත කී තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට ඉඩකඩ ඇති බව ඇමෙරිකානු ව්‍යාපාරයක් වන ගූගල් සමාගම පවසයි.

තරඟකාරී වෙළෙඳාම පිළිබඳ විෂය භාර යුරෝපා කොමසාරිස් Margrethe Vestager ප්‍රකාශයක් කරමින්, ගූගල් සමාගම කටයුතු කර ඇති ආකාරය යුරෝපා හවුලේ රෙගුලාසිවලට වලට පටහැණි බව පෙන්වා දෙයි.

Image copyright EUROPEAN COMMISSION
Image caption තරඟකාරී වෙළෙඳාම පිළිබඳ විෂය භාර යුරෝපා කොමසාරිස් Margrethe Vestager

"ගූගල් සමාගම කටයුතු කරනු ලැබ ඇති ආකාරය නිසා තරඟකාරිත්වය සඳහා වෙනත් සමාගම් වලට ඇති අවස්ථා ඇහිරීමක් සිදු වෙනවා. අනිත් බරපතළ කාරණය තමයි, තරඟකාරිත්වය තුළින් අලුත් අදහස් සහ නව ක්‍රම භාවිතයට මෙන්ම අවශ්‍ය තෝරා ගැනීමක් සඳහා යුරෝපයේ පාරිභෝගිකයන් සතු වාසිය එමගින් ප්‍රතික්ෂේප වීම" කොමසාරිස්වරිය කියා සිටියි.

ගූගල් සමාගම සිය ආදායම් වලින් 90% කට ආසන්න ප්‍රමාණයක් උපයා ගනු ලබන්නේ වෙළෙඳ දැන්වීම් මගිනි.

යුරෝපා කොමිසම 2010 පටන් වසර හතක පමණ කාලයක් ගූගල් අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ මිළ දී ගැනීම් අධීක්ෂණය කර ඇත.

මේ ප්‍රශ්නය කරළියට පැමිණ ඇත්තේ මෛක්‍රොසොෆ්ට් (Microsoft) වැනි තරඟකාරී සමාගම් වලින් ලද පැමිණිලි වලින් අනතුරුවයි.

යුරෝපා හවුල විසින් ගූගල් සමාගමට එරෙහිව නඩු තුනක් පවරා ඇති අතර මෙය ඉන් එක් නඩුවක් පමණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර