ඉන්දු-චීන දේශසීමාවේ ගැටුම්කාරී තත්වයක්

Image copyright AFP
Image caption 1960 දශකයේ ඉන්දු-චීන දේශසීමා ගැටුම් ආරම්භ වුණේ මෙම කලාපය මුල්කර ගෙනයි

ඉන්දියානුවන් දේශසීමාව ඔස්සේ සිය භූමියට අනවසරයෙන් ඇතුල් වෙන බවට දිල්ලි බලධාරීන්ට චෝදනා කරන චීනය එවැනි මැදිහත්වීම් වලින් වළකින ලෙස කියා සිටියි.

ඉන්දියානු දේශසීමා ආරක්ෂක භටයන් 'සීකිම්' ප්‍රාන්තයෙන් හිමාලය ගිරි දුර්ගය ඔස්සේ ටිබෙට් දේශයට ඇතුල් වෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ චෝදනාවයි.

ඉන්දියානු හින්දු සහ බෞද්ධ වන්දනාකරුවන් හිමාලය දුර්ගය ඔස්සේ ටිබෙට් දේශයේ පිහිටි සිය පුදබිම් කරා ගමන් කරනු ලැබීම මේවනවිට තහනම් කරනු ලැබ ඇති බවත් බේජිං පාලනය දැනුම් දෙයි.

එම ප්‍රකාශන සම්බන්ධයෙන් දිල්ලි පාලනය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළකර නැත.

කෙසේවුවද, මේ තත්වය යටතේ දෙරට අතර ගැටුම්කාරී තත්වයක් උත්සන්න කෙරෙමින් පවතී.

මේ අතර මේ මාසය ආරම්භයේ ප්‍රකාශයක් කළ දිල්ලි බලධාරීහු, චීන හමුදා භටයන් දේශසීමාව ඔස්සේ 'සීකිම්' ප්‍රාන්තයට ඇතුල් වී ඉන්දියානු යුද හමුදා බංකර වලට හාණි සිදුකර ඇති බවට චෝදනා කළහ.

දේශසීමාවේ සිය පාර්ශ්වයේ මාවතක් ඉදි කිරීමේ කටයුතු වලට බාධා කරන බවට බේජිං පාලනය ඉන්දියාවට පෙරළා චෝදනා කරයි.

Image caption දෙරට අතර දේශසීමාව

දේශ සීමාවේ සිය පාර්ශ්වයේ සාමාන්‍ය කටයුතු වලට ඉන්දියානු දේශසීමා ආරක්ෂක භටයන් බාධා කරන බව පවසන චීනය, එම භටයන් වහාම ඉවත් කර ගන්නා ලෙස දිල්ලි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙම දේශසීමාව මුල්කර ගනිමින් 1960 දශකයේ ඉන්දියාව සහ චීනය යුද වැදුණ අතර එම ගැටුම්කාරී වාතාවරණය දැනුත් වරින්වර ඉස්මතු වෙයි.

මෑත අවුරුදුවල දෙරට අතර දක්නට ලැබුණ බරපතළම ගැටුම්කාරී තත්වය මේදිනවල දක්නට ලැබෙන බව දකුණු ආසියාව පිළිබඳ බීබීසී සංස්කාරක එතිරාජන් ඇන්බරසන් පවසයි.