ඇමෙරිකානු ප්‍රතිරූපයේ පිරිහීමක්

Image caption ජනාධිපති ට්‍රම්ප් සිය ජෙට් යානයේ ගමනක

රටක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ එරට ජනාධිපතිවරයාගේ ජනප්‍රියභාවය විශාල මට්ටමකින් පිරිහෙමින් පවතින බව අලුත් මහජන මත විමසුමකින් පෙන්නුම් කෙරෙයි.

එම සමීක්ෂණය කරනු ලැබ තිබෙන්නේ 'Pew' පර්යේෂණ මධ්‍යස්ථානය(Pew Research Center) විසිනි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්(Donald Trump) සහ ඔහුගේ ප්‍රතිපත්ති ලෝක මට්ටමින් මහා පරිමාණයෙන් මහජන අප්‍රසාදයට පත්ව ඇති බව නව ජනාධිපතිවරයා බලයට පත්ව මාස පහකට පසුව සිදු කරන ලද එම සමීක්ෂණය මගින් නිගමනය කරනු ලැබ ඇත.

හතළිස් දහසක් පමණ වූ අදාළ සමීක්ෂණයට සහභාගීවූවන් අතරින් නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය පළ කරනු ලැබ ඇත්තේ දස දහසකටත් වඩා අඩු පිරිසක් පමණි.

මෙක්සිකෝව වැනි ඇමෙරිකා එක්සත් ජනපදයේ අසල්වැසි රටවල ඩොනල්ඩ් ට්‍රම්ප්(Donald Trump) ජනාධිපතිවරයාගේ ජනප්‍රියභාවය විශාල මට්ටමකින් පහත වැටී ඇත.

මෙක්සිකෝවාසීන් අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ශුභවාදී ප්‍රතිචාරයක් පළකර ඇත්තේ 5% ක් පමණි.

ජර්මනිය සහ ස්පාඤ්ඤය ඇමෙරිකා එක්සත් ජනපදයේ පැරණි මිතුරු රාජ්‍යයන්හි ජනතාව අතර පවා පවා ධවල මන්දිරයේ නව නේවාසිකයා පිළිබඳව ඇත්තේ ඉතා පහළ මට්ටමේ කැමැත්තකි.

Pew ජගත් ආකල්ප පිලිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ(Global Attitudes Research at Pew) අධ්‍යක්ෂ රිචර්ඩ් වයික් (Richard Wyke) අදහස් දක්වමින්,අමෙරිකාවත් සමඟ සම්ප්‍රදායක් වශයෙන් කිට්ටු සබඳතා පවත්වන රටවල ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අවම වෙමින් ඇති බව පවසයි.

"යුරෝපා රටවල ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් පවතින්නේ අශුභවාදී ආකල්පයක්. මැද පෙරදිග, ලතින් ඇමෙරිකානු රටවල් දිහා බැලුවම ඒක පෙනෙනවා. ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියට ඒ රටවල ලොකු විරෝධයක් පවතිනවා. ඇත්තෙන්ම ලෝකය පුරා දකින්න තියෙන තත්වය ඒකයි" අධ්‍යක්ෂ රිචර්ඩ් වයික් (Richard Wyke) කියා සිටියි.

තවදුරටත් අදහස් දක්වන අධ්‍යක්ෂ රිචර්ඩ් වයික් (Richard Wyke) තමන් ජනතාවට යොමු කළ ප්‍රශ්න වලදී වැඩි දෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පිළිවෙත් ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙයි.

"ඉරානය සමඟ තිබුණ න්‍යෂ්ටික ගිවිසුම අත්හැර දැමීම, මුස්ලිම් බහුතරයක් සහිත රටවලින් එන සංක්‍රමණිකයන්ට තහංචි පැනවීම, දේශගුණ සහ වාණිජ ගිවිසුම් අත්හැර දැමීම සහ මෙක්සිකෝව වෙන් කෙරෙන තාප්පයක් බැඳීම වගේ කාරනා අපි මහජනයාට යොමු කළා. ඒ සියලුම ක්‍රියාමාර්ග මහජනයා අතර ජනප්‍රිය නැහැ" අධ්‍යක්ෂ රිචර්ඩ් වයික් (Richard Wyke) පවසයි.

ඉහත කී සමීක්ෂණය රටවල් තිස් හතක පැවැත්වුණි.