ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි?

Image copyright Sujathro Ghosh
Image caption ඉන්දීය සමාජයේ කොන්වෙන ගැහැණිය

ඉන්දීය කාන්තාවන් එළදෙනුන් තරම්වත් වැදගත් නැද්ද?

දේශපාලනමය වශයෙන් මහත් ආන්දෝලනයක් ඇති කෙරෙන එම ප්‍රශ්නය නගනු ලබන්නේ ගව මුහුණු පැළඳ ගනිමින් කැමරාවක් ඉදිරියේ පෙනී සිටින කාන්තාවන්ගේ ඡායාරූප ඇතුළත් විශේෂ ව්‍යාපෘතියක් මගිනි.

එම ව්‍යාපෘතිය කරළියට ගෙන ආ විසිතුන් හැවිරිදි ඡායාරූප ශිල්පියා හින්දු ජාතිකවාදීන්ගේ බලවත් කෝපයට භාජනය වෙමින් ඇති බවත් වාර්තා වෙයි.

"මගේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් මම බලවත් ලෙස කැළඹීමට පත්වෙලා ඉන්නේ. මේක කාන්තාවන්ට වඩා එළදෙනුන් වැදගත් කමක් ලබන සමාජයක්. බොහෝ හින්දූන් විසින් පූජනීය සත්වයකු ලෙස සලකනු ලබන ගවයෙකුට වඩා දූෂණය කරනු ලැබීමට හෝ පහර දීමකට ගොදුරු වූ කාන්තාවකට සිය යුක්තිය ඉටුකර ගැනීමට කල් ගත වෙනවා" ඡායරූප ශිල්පී සුජාත්‍රෝ ඝෝෂ් පවසයි.

ඉන්දියාව කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන අපරාධ නිතරම මෙන් වාර්තා කෙරෙන සමාජයකි.

ඉන්දීය ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව ගතවෙන හැම මිනිත්තු පහළොවකට වරක් ස්ත්‍රී දූෂණයක් වාර්තා වෙයි.

Image copyright Sujathro Ghosh
Image caption සිය නිවසේ දී පවා අසාධාරණයට ලක් කෙරෙන ගැහැණිය

"ඒ වගේ අපරාධයක් පිළිබඳව උසාවියට පැමිණිල්ලක් කළත් අපරාධකාරයාට දඬුවම් දෙන්න අවුරුදු ගණනක් ගත වෙනවා. ඒ වුනාට ගවයෙක් මැරුවොත් හින්දු අන්තවාදියෝ වහාම ගිහින් ගවයා මැරූ බවට සැක කරන පුද්ගලයා මරල දානවා. නැත්නම් ඔහුට පහර දෙනවා" සුජාත්‍රෝ ඝෝෂ් පෙන්වා දෙයි.

අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුව 2014 වසරේ බලයට පත්වීමේ පටන් ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් වල බලය ශක්තිමත් වෙමින් පවතින අතර තම ඡායාරුප ව්‍යාපෘතිය ඊට විරෝධය පළ කිරීමේ උපාංගයක් වන බවත් ඔහු පවසයි.

"මුස්ලිම් ජාතිකයෙක් ශීතකරණයේ ගබඩා කර ගනිමින් ගවමස් ආහාරයට ගන්නා බවට කටකතා පැතිර යාමත් එක්ක හින්දු කල්ලියක් ගිහින් ඒ පුද්ගලයා මරා දැම්මා. මම ඒ ගැන සංවේදී වුනා. ගවයන් වෙනුවෙන් පෙනී සිටින්නන් ඒ වගේ තවත් ප්‍රහාර එල්ල කරලා තියෙනව"ඝෝෂ් වැඩිදුරටත් කියා සිටියි.

Image copyright Sujathro Ghosh
Image caption ඝෝෂ් මෙම පින්තූරය මගින් පෙන්වා දෙන්නේ ඉන්දීය කාන්තාව හැම තැනකම පීඩාවට ලක් කෙරෙන බවක්

'පූජනීය සත්වයකු හෙයින් ගවයා ආරක්ෂා කළ යුතුය' යන්න භාරතීය ජනතා පක්ෂයේ ස්ථාවරයයි.

ඉන්දියානු ප්‍රාන්ත කීපයක ගව ඝාතනය දැනටමත් තහනම් කරනු ලැබ ඇති අතර, එම නීතිය උල්ලංඝනය කරනු ලබන්නන්ට දෙන දඬුවම් තවත් දැඩි කිරීමට ද එම ප්‍රාන්ත බලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත.

ගව ඝාතනයට දඬුවම මරණීය දණ්ඩනය බවට පත් කිරීමේ පනත් කෙටුම්පතක් ගැනත් ඉන්දීය පාර්ලිමේන්තුව සලකා බලමින් ඇත.

ඉන්දියාවේ ගත වූ අවුරුදු දෙක ඇතුළත 'ගවයාගේ නාමයෙන්'දොළොස් දෙනකුට ආසන්න පිරිසක් මරා දමනු ලැබ ඇත.

මස් සඳහා යයි පැතිරෙන කටකතා නිසා කිරි සඳහා ගවයන් ප්‍රවාහනය කරන මුස්ලිම් ජාතිකයන් පවා මරා දමන ලද අවස්ථා වාර්තා වෙයි.

ඒ අතරම ගවමස ඉන්දියානු මුස්ලිම්, ක්‍රිස්තියානි සහ දශ ලක්ෂ සංඛ්‍යාත 'දලිත්' කුල පීඩිත ජනයාගේ ප්‍රධාන ආහාරයක් වෙයි.

Image copyright Sujathro ghosh
Image caption කාන්තා අසාධාරණය පෙන්වන නිරූපිකාවක් ඓතිහාසික ඉන්දීය දොරටුව අභියස

නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරවාසියකු වූ සුජාත්‍රෝ ඝෝෂ් මෙයින් වසර හතරකට පෙර දිල්ලි අගනුවර වාසය ආරම්භ කළ අතර ගවයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ඉහත කී පිළිවෙත දැන් ඔහු දකින්නේ "ආගම සහ දේශපාලනය එකට මුසු වීමෙන් නිර්මාණය වූ අනතුරුදායක තත්වයක්" හැටියටයි.

තමා දියත් කරන ඡායාරූප ව්‍යාපෘතිය ඊට බලපෑමක් කළ හැකි "නිහඬ විරෝධයක්" ලෙසත් ඔහු දකියි.

මෙම ජූනි මාසය මුල නිව්යෝර්ක් නගරයේ සංචාරයක නිරත වූ සුජාත්‍රෝ ඝෝෂ් ආපසු සියරට ලඟා වුනේ ඇමෙරිකාවේ දී මිලට ගත් කෘත්‍රිම ගව මුහුණු කීපයක් ද රැගෙනයි.

එම ගව මුහුණු කාන්තාවන්ට පළඳවමින් ඔවුන් ජනාධිපති මන්දිරය ,ආණ්ඩුවේ ගොඩනැගිලි, සංචාරකයන ගැවසෙන තැන් , මහා මාර්ගවල ප්‍රසිද්ධ ස්ථාන, දුම්රියකදී සහ බෝට්ටුවකදී මෙන්ම නිවාස වැනි පෞද්ගලික තැන් වලදීත් ඡායාරූප ගතකළ සුජාත්‍රෝ ඝෝෂ් එමගින් පෙන්වා දෙන්නේ ඉන්දීය සමාජය තුළ හැම තැනකදී ම කාන්තාවන් අනාරක්ෂිත බවයි.

"මම පළමු ඡායාරූපය ගත්තේ ඓතිහාසික ඉන්දියානු දොරටුව(India Gate,) ඉදිරිපිටදී. එය ඉන්දියාවට එන සංචාරකයන් වැඩියෙන් ගැවසෙන තැනක්. ඉන් අනතුරුව මම ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී නිරූපිකාවක් ඡායාරූපයට ගත්තා.ඊ ළඟ පින්තූරය ගත්තේ කොල්කටා නගරයේ හූග්ලි (Hooghly) ගංගාවේ බෝට්ටුවක දී" ගෝෂ් සිය චාරිකාව විස්තර කරයි.

Image copyright Sujathro Gosh
Image caption ජනාධිපති මන්දිරය ඉදිරිපිට

මෙයින් සති දෙකකට පෙර සුජාත්‍රෝ ඝෝෂ් සිය ඡායාරූප ව්‍යාපෘතිය Instagram ප්‍රකාශනයක් ලෙස සමාජගත කළ මොහොතේ පටන් විශාල ප්‍රතිචාරයක් ලද අතර එය 'ශුභවාදී' විය.

ඝෝෂ් නොහඳුනන්නන් පවා ඔහුට ශුභ පතා තිබුණි.

එහෙත් එය පුවත්පත් සහ සමාජ මාධ්‍ය ජාලයේ කතිකාවක් බවට පත් වීමත් සමඟ දෙසතියකට පසු ලද ප්‍රතිචාරය සහමුලින්ම වෙනස් තත්වයක විය.

"ඇතැමුන් මට තර්ජනය කරමින් ලිව්වා.සමහරු කිව්වා -මමත් ඒවගේම මම නිරූපිකාවන් හැටියට යොදාගත් කාන්තාවනුත් දිල්ලි අගනුවර 'ජමා මස්ජිඩ්' මුස්ලිම් පල්ලියට ගෙන ගිහින් මරා දමන්න ඕන කියල.තවත් කෙනෙක් ලිව්වා- අපේ මස් ජාතිකවාදීන් ගර්හාවට ලක් කරන කාන්තා මාධ්‍යවේදිනියකට සහ ලේඛිකාවකට කැවිය යුතුය කියල. මගේ මව මගේ මළ සිරුර මත වැළපෙන හැටි දකින්න අවශ්‍යයි කියල ඔවුන් ලිව්ව" සුජාත්‍රෝ ඝෝෂ් තමා ලද ප්‍රතිචාර විස්තර කළේ එවැනි වචන වලිනි.

Image copyright Sujathro Ghosh
Image caption ප්‍රවාහනය තුළ සිදු කෙරෙන කාන්තා අතවර නිරූපණය කරමින්.

ඒ අතර ඇතැමුන් දිල්ලි පොලිසිය අමතමින් "කැරලි ගැසීමට මිනිසුන් පෙළඹවීමේ චෝදනා යටතේ ඝෝෂ් අත්අඩංගුවට ගන්නා මෙන් පැමිණිලි කර ඇත.

තර්ජන මගින් බියපත් නොවන සුජාත්‍රෝ ඝෝෂ් තමා යහපත් පරමාර්ථයක් වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටියි.