ට්‍රම්ප් සංචාරක තහංචි: නව නිර්ණායක අද සිට ක්‍රියාත්මකයි

International passengers arrive at Washington Dulles International Airport on June 26, 2017 Image copyright Reuters

ට්‍රම්ප් පාලනය විසින් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හයකට බලපැවැත්වෙන වීසා බලපත් හා සම්බන්ධ නව නිර්ණායක හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව ඇමරිකාව වෙත පැමිණීම සඳහා අයැදුම් කරන ඉහත කී රටවල පුරවැසියන් සහ සරණාගතයන්ට එක්සත් ජනපදය තුළ සමීප පවුල් සබඳතා හෝ ව්‍යාපාරික සබඳතා තිබීම අනිවාර්ය වේ.

ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සූඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට බලපාන නව නීති බ්‍රහස්පතින්දා (ජුනි 29) සිට බලාත්මක වේ.

ඉහත කී නිර්ණායක හඳුන්වා දෙනු ලැබුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද සංචාරක තහංචියෙන් කොටසක් පමණක් ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අනුමැතිය ලබා දීමත් සමගය.



මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හයක පුරවැසියන් සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ලබා දුන් විධායක නියෝගය මතභේදයට තුඩු දුන් අතර එරට පහළ අධිකරණ විසින් එම නියෝගය තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.

'සමීප සබඳතා'?

Image copyright Getty Images
Image caption "අපේ ජාතික ආරක්ෂාව ලද විජයග්‍රහණයක්"

වීසා බලපත් අයැදුම් කිරීම හා සම්බන්ධ නව නීතිවලට අනුව ඇමරිකාව තුළ දෙමව්පියන්, විවාහක සහකරු හෝ සහකාරිය, දරුවන්, බෑණා හෝ ලේලි, සහෝදර සහෝදරියන් වැනි සමීප සබඳතා නොමැති පුද්ගලයන්ට එහි පැමිණීමට නොහැකි වනු ඇත.

සමීප සබඳතා නිර්වචනය කර ඇති ආකාරය අනුව සීයා/ආච්චි, නැන්දා/මාමා, සහෝදර සහෝදරියන්ගේ දරුවන්, මුනුබුරු මිනිබිරියන් සහ විවාහක සහකරු හෝ සහකාරියගේ ඥාතීන් ඊට ඇතුළත් නොවෙති.

ඇමරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාරික හෝ අධ්‍යාපනික සබඳතා ඇති පුද්ගලයන් නව නීතියෙන් නිදහස් කර ඇත.

දැනට වීසා බලපත් හිමි පුද්ගලයන් සඳහා නව නීති මගින් බලපෑමක් එල්ල නොවේ.

නව නීතිය වොෂිංටන් වේලාවෙන් රාත්‍රී 08.00 සිට ක්‍රියාත්මක වනු ඇත.

මුස්ලිම් ප්‍රජාව

Image copyright Getty Images
Image caption සංක්‍රමණික තහංචිය මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කොට නිකුත් කරන ලද නියෝගයක් බවට විවේචන එල්ල වේ

ජනාධිපති ට්‍රම්ප් විසින් හඳුන්වා දෙනු ලැබූ සංචාරක තහංචිය අනුමත කළ යුතුද, ප්‍රතික්ෂේප කළ යුතුද, යන්න සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් ලබන ඔක්තෝබර් මාසයේ සිදු කරන බව ඇමෙරිකානු උපරිමාධිකරණය පවසයි.

සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් සංචාරක තහනමක් පැනවීම ජනාධිපති ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවකි.

සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් විසින් ලබා දෙනු ලැබූ විධායක නියෝගයට එරෙහිව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පසුගිය මාස පහක කාලය පුරා සටන් කළහ.

ඇමරිකාව තුළට ත්‍රස්තවාදීන් ඇතුළු වීම වැළැක්වීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් ගත් බව ජනාධිපති ට්‍රම්ප් පවසන අතර එය මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කොට නිකුත් කරන ලද නියෝගයක් බවට විවේචන එල්ල වේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී අදාළ විධායක නියෝගයට පළමු වරට අත්සන් තැබූ අතර අධිකරණය විසින් එය අත්හිටුවනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ජනාධිපති ට්‍රම්ප් විසින් විග්‍රහ කරනු ලැබුවේ "අපේ ජාතික ආරක්ෂාව ලද විජයග්‍රහණයක්" ලෙසය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර