ඩමස්කස් අගනුවර ප්‍රහාරයක්; විසි දෙනෙක් මරුට

Image caption වසර හයක සිවිල් යුද්ධයෙන් විනාශ වූ ඩමස්කස් අගනුවර

සිරියාවේ 'ඩමස්කස්' අගනුවර එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති අතර මේවනවිට මරණ සංඛ්‍යාව විස්සක් බව වාර්තා වෙයි.

අගනුවර තුළට පිවිසීමට තැත් කරන ලද කාර් බෝම්බ ප්‍රහාරකයන් යයි සැක කෙරෙන වාහන තුනක් පොලිසිය විසින් ලුහු බඳින ලද බව සිරියානු රාජ්‍ය රූපවාහිනිය පවසයි.

එයින් වාහන දෙකක් නතර කොට පුපුරුවා හැරීමට පොලිසිය සමත් වී ඇත.

ඒ අතරවාරයේ 'තහ්රිර්' (Tahrir) චතුරශ්‍රයට ඇතුල් වීමට සමත් වූ තුන්වැනි රථය පැදවූ ප්‍රහාරකයා පොලිසිය විසින් වට කරන ලද අවස්ථාවේ සිය බෝම්බය පුපුරුවා ගෙන ඇත.

අවුරුදු හයක කාලයක සිවිල් යුද්ධයක් පවතින සිරියාවේ 'ඩමස්කස්' අගනුවර වැඩි කොටසක් පාලනය වෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේයි.

මුස්ලිම් ජනයාගේ 'රාමදාන්' උත්සව කාලය නිමාවේ පළමු වරට රැකියා සඳහා ජනතාව පිටත්ව යන අද (ජූලි 02) දිනයේ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන මොහොතක බෝම්බ පුපුරුවා හැරීමට ප්‍රහාරකයන් සැලසුම් කර ඇති බව සිරියානු රාජ්‍ය රූපවාහිනිය පවසයි.

'සානා'(Sana) පුවත් සේවයට ප්‍රකාශයක් කළ සිරියානු පොලිස් නිලධාරියෙක්, මහජන ජීවිත විනාශ කරමින් තවත් කොටසකට තුවාල සිදු කරමින් එල්ල කෙරෙන ත්‍රස්ත ප්‍රහාර මගින් දේපොළ හානියක් ද සිදුව ඇති බව කියා සිටියේය.

අද ප්‍රහාරකයන් පැමිණ ඇත්තේ මෝටර් රථ තුනකිනි

Image copyright Sana/reuters
Image caption ප්‍රහාරකයන් පැමිණ ඇත්තේ මෝටර් රථ තුනකිනි

මේ ප්‍රහාරය පිළිබඳව AFP පුවත් සේවයට අදහස් දැක්වූ නගරවාසියෙක්, උදෑසන හයට පමණ වෙඩි හඬ ඇසුන අතර ඉන්පසුව ඇති වූ මහා පිපිරීමත් සමඟ නිවාසවල කවුළු වීදුරු කඩා වැටුණ බව ප්‍රකාශ කළේය.

ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් විසින් මෙතෙක් භාරගනු ලැබ නැත.

2011 දී ආරම්භ වූ සිරියාවේ සිවිල් යුද්ධයෙන් මේවනවිට ලක්ෂ තුනක පමණ මහජන ජීවිත විනාශ වී ඇති බව ඇස්තමේන්තු කෙරෙයි.

යුද්ධයත් සමඟ පනස් පන් ලක්ෂයක් පමණ සිරියානු ජනයා රට හැර ගොස් ඇති අතර තවත් හැටතුන් ලක්ෂයක් පමණ ජනයා රට තුළ අවතැන්ව සිටිති.