කටාර් අර්බුදය: ඉල්ලීම් ඉටු කිරීමට තවත් පැය 48 කාලයක්

Image copyright STR

කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය තවදුරටත් එලෙසම පවතී.

ඩෝහා පාලනය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ඉටු කිරීම සඳහා ලබා දී තිබූ කාලය තවත් පැය 48 කින් දීර්ඝ කිරීමට සෞදිය සහ සෙසු අරාබි රටවල් තුන කටයුතු කර තිබේ.

ඉහත කී කාල සීමාව තුළ සිය ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් කටාර් රාජ්‍යය වෙත තවදුරටත් සම්බාධක පැනවෙනු ඇති බවට සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් යන රටවල් අනතුරු අඟවති.

අල් ජසීරා මාධ්‍ය ජාලය වසා දැමීම ඇතුළු ඉල්ලීම් 13 ක් ඉටු කිරීම සඳහා ඉහත කී අරාබි රටවල් කටාර් රාජ්‍ය වෙත ඉරිදා (ජුලි 02) වන තෙක් කල් ලබා දී තිබිණි.

ඒ සම්බන්ධයෙන් වූ සිය නිල ප්‍රතිචාරය කුවේට් රාජ්‍යය වෙත සඳුදා (ජුලි 03) ලිඛිතව ලබා දෙන බව කටාර් රාජ්‍යය පැවසීය.



අන්තවාදී සංවිධානවලට මූල්‍යාධාර ලබා දෙන බවට සිය අසල්වැසි රාජ්‍යයන් එල්ල කරන චෝදනා ඩෝහා පාලනය ප්‍රතික්ෂේප කරයි.

කුවේට් වෙත සංදේශයක්

Image copyright Reuters
Image caption කටාර්හි එමීර්, ෂේක් තමීම් බින් හමාද් අල්-තානි ගේ රුව දැක්වෙන සිතුවමක්

කටාර්හි එමීර්වරයාගේ නිල ප්‍රතිචාරය ඇතුළත් ලිපිය එරට විදේශ අමාත්‍යවරයා විසින් කුවේට්හි එමීර්වර්යා වෙත සඳුදා බාර දෙනු ලැබීමට නියමිතය.

ගල්ෆ් කලාපයේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා කුවේට් රාජ්‍යය මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කරයි.

කටාර්හි විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි පසුගිය සෙනසුරාදා (ජුලි 01) කියා සිටියේ සෞදිය ඇතුළු සෙසු අරාබි රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන නමුත් නිසි කොන්දේසි යටතේ සංවාදයකට මුල පිරීමට සිය රට සුදානම් බවය.



සෞදි අරාබිය සහ ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේන් ඇතුළු මිත්‍ර රටවල් කටාර් රාජ්‍ය සමග පැවති රාජ්‍යය තාන්ත්‍රික සබඳතා අතිහිටුවීමට කටයුතු කළේ පසුගිය ජුනි 05 වෙනිදාය.

ඒ සමග සිය ගොඩබිම්. මුහුදු සහ ගුවන් දේශ සීමා වසා දමමින් කටාර් රාජ්‍ය වෙත ආර්ථික සම්බාධක පැනවීමටත් ඉහත කී රටවල් කටයුතු කළහ.

කොන්දේසි

ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු ඩෝහා පාලනය වෙත පසුගිය ජුනි 23 වෙනිදා ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් යන රටවල විදේශ අමාත්‍යවරුන් බදාදා (ජුලි 05) හමු වීමට නියමිතය.


සෙසු ඉල්ලීම් මොනවාද?


අරාබි රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් AP පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර:

  1. මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමග සම්බන්ධතා අත්හැරීම
  2. සිය රටවල් හතරේ පුරවැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබා නොදීම සහ දැනට එසේ පුරවැසිභාවය ලබා දී තිබෙන පුද්ගලයන් පිටුවහල් කිරීම
  3. ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් එම රටවල් හතරට භාරදීම
  4. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ තිබෙන ඕනෑම සංවිධානයකට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
  5. විශේෂයෙන්ම සවුදි අරාබිය ඇතුළු සිය රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට කටාරය මූල්‍යාධාර ලබා දුන් අවස්ථා පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදීම
  6. අල් ජසීරා (Al Jazeera) පමණක් නොව අරාබියා21 (Arabi21) සහ මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) ඇතුළු අනෙක් සියලුම මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
  7. සිය රටවලට වන්දි මුදලක් ගෙවීම (ප්‍රමාණය අනාවරණය වී නැත).

ඛනිජ සම්පත් බහුල කටාර් රාජ්‍යයේ ජනගහනය ලක්ෂ 27 ට ආසන්නය.

ආහාර හිඟයක්?

Image copyright Getty Images

භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන කටාර් රාජ්‍ය වෙත සෙසු අරාබි රටවල් විසින් සීමා පනවනු ලැබීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඒ වෙත වැඩි වශයෙන් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය සහ තුර්කිය කටයුතු කරමින් සිටිති.

මුස්ලිම් සහෝදරත්වය වැනි සිය විරුද්ධවාදී ඉස්ලාමීය දේශපාලන ව්‍යාපාරවලට කටාර් රාජ්‍ය සහාය ලබා දෙන බවට සෞදිය ඇතුළු සෙසු අරාබි රටවල් චෝදනා කරති.



එවැනි සංවිධාන සුවිශේෂී තර්ජනයක් ලෙස සෞදිය ඇතුළු අරාබි රටවල පාලකයන් විසින් සලකනු ලබන අතර කටාර් රාජ්‍යයේ අරමුදලින් පවත්වාගෙන යනු ලබන අල් ජසීරා රූපවාහිනී සේවය ඔස්සේ එම සංවිධානවල අදහස් ප්‍රකාශ කිරීම සඳහා වේදිකාවක් තනා දී ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.

සෙසේ නමුත් ත්‍රස්තවාදයට සහාය ලබා දීම සහ කලාපයේ සිය විරුද්ධවාදී රටක් ලෙස සැලකෙන ඉරානය සමග සබඳතා පවත්වන බවට සෙසු අරාබි රටවල් එල්ල කරන චෝදනා කටාර් රාජ්‍යය ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලාංකිකයන්

Image copyright Getty/ LAKRUWAN WANNIARACHCHI

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බවය.


ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?


කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : sinhala@bbc.co.uk

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර