ප්‍රංශයට "පුංචි පාර්ලිමේන්තුවක්, කැබිනෙට්ටුව දහයයි"

Image copyright AFP
Image caption ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමටත් කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව දස දෙනෙකුට සීමා කිරීමටත් ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් යෝජනා කරයි.

ප්‍රංශ ජනාධිපතිවරයා විසින් මෙම යෝජනා හඳුන්වනු ලැබ ඇත්තේ "රැඩිකල්වාදී නව මාවතක්" ලෙසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම තුළින් රටට සේවය කිරීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් සහ නම්‍යශීලී භාවයක් ලැබෙන බව ප්‍රංශ ජනාධිපති මැක්රෝන් පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුව කුඩා වනවිට කාර්යක්‍ෂමතාව ඉහළ යන බවය.

Image caption ව'සායි (Versailles) රජ මාළිගයේ පැවති ඒකාබද්ධ පාර්ලිමේන්තු සැසිවාරය

ඔහු මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ව'සායි (Versailles) රජ මාළිගයේ පැවති ඒකාබද්ධ පාර්ලිමේන්තු සැසිවාරයක දීය.

ප්‍රංශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙකම එකවර කැඳවා මෙවැනි සැසිවාරයක් පැවැත්වෙන්නේ ඉතා කලාතුරකිනි.

ඉහත කී යෝජනා ක්‍රියාත්මක වීමෙන් දෙවසරකට පසු එහි ප්‍රගතිය ඇගයීමකට ලක් කිරීමට නියමිතය.

වසරක් ඇතුළත මෙම ප්‍රතිසංස්කරණ නීතිගත කිරීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා ජනමතවිචාරණයකට ගොස් ජනවරමක් ලබා ගන්නා බව ජනාධිපති මැක්රෝන් ප්‍රකාශ කළේය.