වෙළෙඳ බදු විරෝධී උද්ඝෝෂණයට ඉන්දියානු පොලිස් ප්‍රහාරයක්

Image caption ප්‍රචණ්ඩ මට්ටමින් බලය පාවිච්චි කරන ලද බවට ගුජරාත් පොලිසියට චෝදනා

ඉන්දියාවේ නව බදු යෝජනාවකට එරෙහිව ගුජරාත් ප්‍රාන්තයේ 'සුරාත්' (Surat )නගරයේ දස දහස් සංඛ්‍යාත ජනකායක් විසින් දියත් කරමින් තිබුණ උද්ඝෝෂණ ව්‍යාපාරයකට පොලිස් බැටන් ප්‍රහාර එල්ල වීමත් සමඟ ගැටුම්කාරී තත්වයක් උද්ගත විය.

'සුරාත්' මිනිස් අතින් නූල් කෙඳි නිපදවන ප්‍රධාන ඉන්දියානු නගරයයි.

ඉන්දීය ආණ්ඩුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද ජාතික වෙළෙඳ බද්ද රෙදිපිළි කර්මාන්තයට ද බලපාන අතර දස දහසක් පමණ රෙදිපිළි වෙළෙන්දෝ එම බද්දට එරෙහිව උද්ඝෝෂණ මාර්ගයට අවතීර්ණව සිටිති.

ඔවුන්ගේ සාමකාමී විරෝධතා ව්‍යාපාරයට මැඩලීම සඳහා පොලිසිය ප්‍රචණ්ඩ මට්ටමින් බලය පාවිච්චි කළ බවට එම උද්ඝෝෂණයේ සංවිධායකයෙක් චෝදනා කළේය.

එහෙත් පොලිස් භටයකුට තුවාල සිදු කරමින් උද්ඝෝෂකයන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීමත් සමඟ තමන්ට බලය පාවිච්චි කිරීමට සිදු වූ බව ගුජරාත් පොලිසිය පවසයි.

රටතුළ එක්සත් තනි වෙළෙඳ පොලක් නිර්මාණය කිරීමේ අදහසින් නව භාණ්ඩ සහ සේවා බද්දක්(GST) හඳුන්වා දෙමින් ප්‍රාන්ත සහ මධ්‍යම ආණ්ඩුව එතෙක් ක්‍රියාත්මක විවිධ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.