ඇමරිකාව පැනවූ ලැප්ටොප් තහනම එමිරේට්ස් අතහරී

Image copyright AFP

එක්සත් ජනපදය බලා යන ගුවන් මගීන්ට, ලැප්ටොප් පරිගණක ළඟ තබාගැනීම තහනම් කරමින් පනවා තිබූ නීතිය මින් ඉදිරියට තම ගුවන්යානා තුළ ක්‍රියාත්මක නොවන බව එමිරේට්ස් ගුවන් සේවය පවසයි.

ප්‍රධාන වශයෙන් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ රටවල් අටකින් පැමිණෙන ගුවන් යානා තුළ ගමන් ගන්නා මගීන් අත ගෙනයන ගමන් මලු තුළ ඉලෙක්ට්‍රෝනික උපාංග රැගෙන යෑම තහනම් කිරීමට ඇමරිකාව පියවර ගත්තේ පසුගිය මාර්තු මාසයේදී ය.

ත්‍රස්තවාදී කණ්ඩායම් ගුවන් යානා ඉලක්ක කරමින් සිටින බවට සහ පාරිභෝගික භාණ්ඩ තුළ සඟවා පුපුරන ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කරමින් සිටින බවට ලැබුණු බුද්ධි අංශ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එකී ක්‍රියාමාර්ගය ගත් බව ඇමරිකානු බලධාරීහු පැවසූහ.

Image copyright Getty Images
Image caption තහනම ඉවත් කිරීම සඳහා තමන් ද පියවර ගෙන ඇති බව තුර්කි ගුවන් සේවය ද නිවේදනය කළේය

එමිරේට්ස් ගුවන් සමාගම කියා සිටියේ එක්සත් ජනපද බලධාරීන් සමඟ එක්වී නව ආරක්ෂක නීති රීති ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු කර ඇති බවය.

ඒ අනුව ඩුබායි සිට එක්සත් ජනපදය බලා යන ගුවන් මගීන් අත ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන යාමට අවසර ලැබෙන බව ඔවුහු පැවසුහ.

එම තහනම ඉවත් කිරීම සඳහා තමන් ද පියවර ගෙන ඇති බව තුර්කි ගුවන් සේවය ද නිවේදනය කළේය.

තුර්කියේ ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන් තොටුපල පරීක්ෂා කිරීම සඳහා එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය බලධාරීන් පිරිසක් එහි පැමිණි බව තුර්කි මාධ්‍ය වාර්තා කර තිබුණි.

බෝම්බ හඳුනා ගැනීම සඳහා වැඩිපුර සුනඛයන් යොදා ගැනෙන අතර රටවල් 105ක ගුවන්තොටුපල ආරක්ෂක ක්‍රමවේද නවීකරණය කර තිබේ.