ප්ලාස්ටික් සහල් මිත්‍යාවක්ද?

Image copyright YOUTUBE
Image caption පිසූ සහල් ගුලි බිම දමා ගැසූ විට පොලා පනින ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු විය

"ප්ලාස්ටික් සහල්" පිළිබඳව රාවයක් පසුගිය සති කිහිපය තුළ සෙනෙගාලය, ගැම්බියාව සහ ඝානා රාජ්‍යය පුරා ද පැතිර ගියේය.

'පොලා පනින බත් ගුලි' දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයට නිකුත්වීමත් සමඟ ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ඝානා රාජ්‍යයේ ආහාර සහ ඖෂධ අධිකාරිය තීරණය කළේය.

එරට පාරිභෝගිකයන්ගෙන් ලබා ගත් "සැක කටයුතු" සහල් සාම්පල පරීක්ෂාවට ලක්කළ නමුත් එම සහල්වල ප්ලාස්ටික් අඩංගු නොවන බව පර්යේෂකයෝ නිවේදනය කළහ.

කෙසේ නමුත් ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය සඳහා අවශ්‍යවන ද්‍රව්‍යයක් "ප්ලාස්ටික් සහල්" නමින් හැඳින්වෙන අතර ඒවා නිපදවීම සඳහා සහල්වලට වඩා අධික මිලක් වැයවනු ඇත.

Image copyright YOUTUBE

"ප්ලාස්ටික් සහල්" පිළිබඳව බියක් ජනතාව අතර පැතිර ගියේ පිසූ සහල් ගුලි බිම දමා ගැසූ විට පොලා පනින ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වීමත් සමඟ ය.

බ්‍රිතාන්‍යය මුලස්ථානය කරගත් සහල් කර්මාන්තකරුවන්ගේ සම්මේලනයේ අධ්‍යක්‍ෂ ඇලෙක්සැන්ඩර් වෝග් කියා සිටියේ එම වීඩියෝ පට සත්‍ය වන නමුත් 'බත් ගුලි' පොලා පැනීම සිදුවන්නේ එහි ප්ලාස්ටික් අඩංගු වීම හේතුවෙන් නොවන බවය.

"සහල් නියම ආකාරයට පිසීමෙන් පසු එවැනි පොලා පැනීමක් ඇත්තටම සිදුවිය හැකියි. සහල්වල කාබෝහයිඩ්රේට සහ ප්‍රෝටීන අඩංගුයි." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

"ප්ලාස්ටික් සහල්" පිළිබඳව බියක් ජනගත වූයේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් රාශියක මෙය ව්‍යාප්ත විය.