නිදහස් දා වෙනිසුවෙලා මන්ත්‍රීවරු ගුටිකති

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
වෙනිසුවෙලා මැති සබයට ප්‍රහාරයක්

සියගණනක් වූ වෙනිසුවෙලා රජයේ හිතවාදීන් එරට විපක්ෂයට බලය හිමි පාර්ලිමේන්තුවට කඩා වැදී මන්ත්‍රීවරුන්ට පහර දුන්හ.

වෙනිසුවෙලාහි නිදහස් දිනය සැමරීම සඳහා මන්ත්‍රණ සභාවේ පැවති සැසියක් අවසානයේදී ගැටුම හටගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසුහ.

ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරන පරිදි, මන්ත්‍රණ සභාවේ ආරක්ෂාවට යොදා ඇති යුද හමුදා පොලිසිය සිටියදීම පොලු මුගුරු සහ පයිප්ප බට අතින් ගත් පිරිස ගේට්ටු හරහා භූමියට ඇතුළු වී ඇත.

මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන බවට රජය ප්‍රතිඥා දී ඇති අතර "ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට මගේ සහය දෙන්නේ නැහැ" යැයි ජනාධිපති නිකලස් මදුරෝ පවසයි.


වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රහාරයක්;හමුදාව සීරුවෙන්

තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි වෙනිසියුලා ජනාධිපති චෝදනා කරයි.


මන්ත්‍රණ සභාවේ කතානායක ජුලිඕ බොර්ජෙස් පැවසුවේ ජනමාධ්‍යවේදීන්, ශිෂ්‍යයන් සහ අමුත්තන් ඇතුළු 350 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පරිශ්‍රය තුළ සිරවී සිටි බවය.

මන්ත්‍රීවරුන් පස්දෙනෙකු තුවාල ලැබූ අතර ඇතැමුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන ගිය බව ද ඔහු කීය.

Image copyright Reuters

මාස කිහිපයක සිට නිතර ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දෙදරීමකට ලක්ව පවතින වෙනිසුවෙලාව ආර්ථික අර්බුදයක ද වෙලී තිබේ.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළාදුටු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, "වසර 206 ට ඉහත අද වැනි දිනකදී නිදහස දිනාගැනීම සඳහා වෙනිසුවෙලාවේ ගැහැණු හා මිනිසුන් ගෙන ගිය අරගලයෙන් පෝෂණය වූ ප්‍රජාතාන්ත්‍රික මුලිකාංගවලට එල්ල වූ ප්‍රහාරයක්" ලෙස හැඳින්වීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටි වාර්තාකරුවන්ට ඉවත්වන ලෙස ප්‍රහාරකයින් අණ කළ අතර ඒ එක් අයෙකු ඇත ගිනි අවියක්ද වූ බව ඒඑෆ්පී පුවත් සීවය පැවසීය.

පහර දුන් පිරිස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළුවීමට පෙර සන්නද්ධ හමුදාවල ප්‍රධානී, ව්ලදිමීර් පද්රිනෝ ලෝපෙස් හා ඇමතිවරු පිරිසක් සමග හිටි අඩියේම එහි පැමිණි උප ජනාධිපති තරෙක් එල් අයිසමි කතාවක් කරමින් ජනාධිපතිවරයාගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මන්ත්‍රණ සභාව වෙත පැමිණ ඔහුට ඇති සහයෝගය පෙන්වන ලෙසය.

එතුළට කඩා වැදීමට පෙර එම පිරිස පැය කිහිපයක සිටම ගොඩනැගිල්ල අවට ගැවසී ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ සන්නිවේදන අමාත්‍යාංශය පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇතැයි සඳහන් කළේය.


වෙනිසුවෙලාවට සිදුවුයේ කුමක්ද ?

  • රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට ඇදී ගොස් ඇති අතර රජයේ ඇතැම් සමාජ සත්කාර වැඩපිළිවෙලට මුල්‍ය සවිය සපයන, එරට අපනයන ආදායමෙන් 95% ක්වන තෙල් මිල පහත බැසීමෙන් මේ තත්ත්වය තවත් උග්‍රවී ඇත.
  • මතුවී ඇති අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, වෙනිසුවෙලාහි ඇතැම් ප්‍රදේශ ඖෂධ මෙන්ම ආහාර වැනි මුලික සැපයුම්වල හිඟයකින් පෙළෙමින් තිබේ.
  • ජනාධිපති නිකලස් මදුරෝ ආර්ථිකය අයහපත් අයුරින් මෙහෙයවනවා පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රීය ආයතනවලට හානි පමුණුවන බවට ද විපක්ෂය චෝදනා කරයි.
  • පාර්ලිමේන්තුව තමන් යටතට පත්කර ගැනීමට වෙනිසුවෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාර්තු මාසයේදී තීරණය කළ ද පසුව එම තීරණය ක්‍රියාත්මක නොකළේය. එහෙත් ජනාධිපති මදුරෝ කුමන්ත්‍රණයකට අර අඳින බවට ඔහුගේ විරුද්ධවාදීන් චෝදනා කළේය. ඒ අනුව ජනාධිපති නිකලස් මදුරෝ ධුරයෙන් ඉවත්විය යුතු බවට බල කරමින් දිනපතාම පාහේ ක්‍රියාත්මකවන උද්ඝෝෂණ ඇරඹිණි.
  • මේඅතර, සිය ආණ්ඩුව නීතිවිරෝධීව පෙරලා දැමීමට විපක්ෂය උත්සාහ දරන බව ජනාධිපති මදුරෝ පවසයි.

මේ සිදුවීමට පැය කිහිපයකට ඉහතදී, අධිකරණයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම මත වෙනිසුවෙලානු නීතිපතිවරියගේ වැඩ තහනම් කෙරිණි.

සිය රාජකාරිය තුළදී නීතිපතිනි ලුයිසා ඔර්ටේගා ඩයස් අත්වැරදීම් කර ඇතැයි චෝදනා නැගුනද, ඇතැමුන් පෙන්වාදෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිසංස්කරණ සැලසුම්වලට එරෙහිව කතා කිරීම හේතුවෙන් ඇය ඉලක්කයක් බවට පත්වී ඇති බවය.

පසුගිය සතියේදී, සොරකම් කරන ලද පොලිස් හෙලිකොප්ටර් යානයක් කරකාස් අගනුවර පියාසර කරමින් අත්බෝම්බ හෙලීමේ හා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මදුරෝ ඇගේ විවේචනයට ලක්විය.

එය "ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙස ජනාධිපතිවරයා විසින් හඳුන්වාදෙනු ලැබුවද, නීතිපතිනි ඔර්ටෙගා පැවසුවේ රට "රාජ්‍ය ත්‍රස්තවාදයෙන්" බැටකන බවය.

අදාළ හෙලිකොප්ටරය වෙරළාසන්න ප්‍රදේශයක අතහැර දමා තිබියදී ආරක්ෂක හමුදා විසින් සොයාගනු ලැබුවද, වෙනිසුවෙලාවේ කතානායක ජුලියෝ බොර්ජෙස් පැවසුවේ එම සිදුවීම මවාපෑමක් වීමට ඉඩ ඇති බවය.

Image copyright INSTARGRAM
Image caption පොලිස් නිලධාරී ඔස්කාර් පෙරේස් ප්‍රකාශයක් කරමින්

කෙසේවෙතත්, හෙලිකොටරය පැදවූ සැඟවී සිටින පොලිස් නිලධාරිය ඔස්කාර් පෙරෙස් අඟහරුවාදා අන්තර්ජාලහි වීඩියෝවක් පළකරමින් පැවසුවේ තමා තවමත් කරකාස් අගනුවර සිටින බවය.

වෙනිසුවෙලා ජනාධිපතිවරයාට එරෙහිව වීථි විරෝධතා සඳහා පෙළගැසෙන ලෙස ඔහු වෙනිසුවෙලා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්