'ජාරවා' ගෝත්‍රිකයන්ට අගෞරව කෙරෙන වීඩියෝ පටවලට තහනමක්

Image caption 'ජාරවා' ගෝත්‍රිකයෙක්

'අන්දමන්' දූපත්වාසී 'ජාරවා' (Jarawa tribe) ගෝත්‍රික ප්‍රජාව දැක්වෙන සියලු වීඩියෝ පට ප්‍රදර්ශනයෙන් ඉවත් කරන මෙන් ඉන්දියානු ආණ්ඩුව 'යූටියුබ්'(youtube) අන්තර්ජාල වෙබ් අඩවියෙන් ඉල්ලීමක් කරයි.

එම ඉල්ලීම කරනු ලැබ තිබෙන්නේ ඉන්දියානු ගෝත්‍රික ප්‍රජාවන් සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික කොමිසම (NCST) විසිනි.

'ජාරවා' මිහිතලයෙන් වඳවී යාමේ දැඩි අනතුරකට මුහුණ දී සිටින ගෝත්‍රික ප්‍රජාවකි.

එම ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට අදාළ නීති වලට හානි කෙරෙන විස්සකට අධික වීඩියෝ පට හඳුනා ගෙන ඇතැයි ඉන්දියාවේ නිලධාරීහු පවසති.

'ජාරවා' ජනතාව ඇතුළත් කරමින් 'යූටියුබ්' වෙබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය ජාලයේ පළ කරනු ලැබ ඇති සියලු වීඩියෝ පට ඒවායෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉන්දියාවේ ස්වදේශ කටයුතු සහ විදේශ අමාත්‍යාංශ මෙන්ම අන්දමන් නිකොබාර් දූපතේ මහලේකම්වරයා සමඟ කටයුතු කරන බව ඉන්දියානු ගෝත්‍රික ප්‍රජාවන් සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික කොමිසම (NCST) පවසයි.

අන්දමන් දූපත නිවහන කරගත් 'ජාරවා' තවමත් මහා සමාජයෙන් වෙන්ව වාසය කරන අවසාන ඉන්දියානු ගෝත්‍ර කීපයට ඇතුළත් කුඩා ජන කොටසකි.

ඉන්දියානු ආණ්ඩුව විසින් 1956 දී සම්මත කරන ලද 'අන්දමන් සහ නිකොබාර් දූපතේ වාසය කරන ආදිවාසී ජනයා ආරක්ෂා කිරීමේ විධිවිධාන මගින් 'ජාරවා' ඇතුළු ගෝත්‍ර පහක් එම භූමියේ 'ආදිවාසීන්' හැටියට හඳුනා ගනු ලැබ ඇත.

.

Image caption සුනාමියෙන් විනාශ වූ අන්දමන් දූපතක්

ආදිවාසී ජනතාව බාහිර මැදිහත්වීම් වලින් තොරව පවත්වා ගැනීමට අදාළ විධි විධානත් එම රෙගුලාසි වලට ඇතුළත් වෙයි.

එම ජනයා ජීවත් වෙන සංරක්ෂිත වනගැබ ඔස්සේ මෑත අවුරුදුවල සංචාරක ගමන් බිමන් වැඩිවීමත් සමඟ ඔවුන්ගේ පැවැත්ම පිළිබඳව මැසිවිලි පළ වන්නට විය.

'ජාරවා' ගෝත්‍රිකයන් ඡායාරූපයට ගැනීම, ඔවුන් ඇතුළත් කරමින් වීඩියෝපට නිපදවීම සහ එම ජනතාව සමඟ කෙළින්ම සබඳතා පවත්වා ගෙනයාම ඉන්දීය ආණ්ඩුවේ නිලධාරීන් විසින් තහනම් කරනු ලැබ ඇත.

2012 වසරේ පනවනු ලැබ දැනට බලපැවැත්වෙන නීති රෙගුලාසි අනුව සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා එම ගෝත්‍රික ප්‍රජාව යොදා ගනිමින් වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරනු ලැබීම දඬුවමට යටත් කළ හැකි වරදක් වෙයි.

සංරක්ෂිත කලාපවලට පිවිසෙමින් ඡායාරූප ගැනීම් සහ වීඩියෝගත කිරීම් ආදියේ නිරතවෙන කවරකු හෝ වසර තුනක සිර දඬුවමකට යටත් කිරීමට එම නීතිය යටතේ බලය ඇත.

'ජාරවා සංවර්ධනය' යන උධෘත පාඨයත් සමඟ දැනට අන්තර්ජාලයේ පළ කරනු ලැබ තිබෙන වීඩියෝ පටවලට නිරුවත් අනුචිත සහ අශෝභන දර්ශන ඇතුළත් වෙනවා. ගෝත්‍රික සාමාජිකයන්ගේ දැනුමක් නැතිව වීඩියෝගත කරනු ලැබ ඇති එම සියලුම දර්ශන එම ජනයාගේ අව්‍යාජත්වයට හානියක්" ඉන්දියානු ගෝත්‍රික ප්‍රජාවන් සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික කොමිසම (NCST) පවසයි.

Image caption අන්දමන් දූපත් හි 'බ්ලෙයාර්' වරාය

එවැනි තත්වයක් යටතේ එම වීඩියෝපට ඉවත්කර ගන්නා මෙන් 'යූටියුබ්' වෙබ් අඩවියෙන් ඉල්ලා සිටීමට තීන්දු කර ඇතැයි කියාසිටි ලේකම්වරයා එහෙත් " විද්‍යාත්මක පර්යේෂණ වලට එමගින් බාධාවක් සිදු නොවන" බවත් කියා සිටියි.

"මෙය විද්‍යාත්මක හැදැරීම් වලට විරෝධය පළ කිරීමක් හැටියට වරදවා නොගත යුතුයි.ඒත් මේ ගෝත්‍රික ප්‍රජාව උසුළු විසුළු කාරයන්ගේ භාණ්ඩයක් වනු දකින්න අපි කැමති නැහැ' ඉන්දියානු ගෝත්‍රික ප්‍රජාවන් සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික කොමිසම (NCST) වැඩි දුරටත් සඳහන් කළේය.

අන්දමන් නිකොබාර් දූපත්වල සමස්ත ජනගහනය 28077 ක් වන අතර දූපත්වාසී ආදිවාසී ජනයා 500 ටත් පහළ මට්ටමක පවතියි.