ඇමරිකානු ප්‍රහාරක යානා චීන මුහුදට ඉහළින් පියාසර කරවයි

Image copyright TWITTER/@PACAF
Image caption B-1B වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා

කලාපීය බල අරගලය උත්සන්න වෙමින් පවතිද්දී එක්සත් ජනපදය සිය ප්‍රහාරක ගුවන් යානා දෙකක් නැගෙනහිර සහ දකුණු චීන මුහුදට ඉහළින් පියාසර කරවයි.

එක්සත් ජනපදය නිවේදනය කර සිටියේ නැගෙනහිර චීන මුහුදු කලාපයේ දී ජපානය සමඟ ඒකාබද්ධව යුද අභ්‍යාසයක නිරත වූ බවය.

එම යුද අභ්‍යාසයෙන් අනතුරුව, ඒ සඳහා යොදා ගෙන ඇති B-1B වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් දකුණු චීන මුහුදට ඉහළින් ද පියාසර කර තිබේ.

පසුගිය අඟහරුවාදා (ජූලි 04) උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තය දක්වා ළඟා විය හැකි මිසයිලයක් බවට ප්‍රකාශ වීමත් සමඟ, උතුරු කොරියාව සතු යුද අවි ශක්තිය පිළිබඳව බරපතළ අවධානයක් යොමුවී තිබේ.

Image copyright AFP
Image caption මේ අතරතුර චීනය, සිය ප්‍රථම ගුවන් යානා ප්‍රවාහක නෞකාව හොංකොං වෙත යාත්‍රා කරවීය

එම න්‍යෂ්ටික මිසයිලය අත්හදා බැලීමෙන් අනතුරුව ඇමරිකාව කියා සිටියේ "අවශ්‍යම වේ නම්" උතුරු කොරියාව සම්බන්ධයෙන් "සැළකිය යුතු මට්ටමින්" හමුදා බලය භාවිත කරනු ඇති බවය.

මේ අතරතුර චීනය, සිය ප්‍රථම ගුවන් යානා ප්‍රවාහක නෞකාව හොංකොං වෙත යාත්‍රා කරවීය.

බ්‍රිතාන්‍ය පාලනයේ තිබූ හොංකොං දේශය චීනයට පවරා දීමේ විසිවැනි සංවත්සරයට සමගාමීව මෙම ගුවන් යානා ප්‍රවාහක නෞකාව හොංකොං වෙත පැමිණියේය.

හොංකොං දුපතේ පාලනය සම්බන්ධයෙන් 'බේජිං' බල අධිකාරියට අභියෝග කරනු ලැබීම 'අනුමත කළ නොහැකි ක්‍රියාවක්' බවට චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) පසුගිය ජූලි 02වැනිදා අනතුරු ඇඟවීමක් කළේය.

චීන නායකයා එම අනතුරු ඇඟවීම කළේ හොංකොං නව පාලිකා කැරී ලෑම්(Carrie Lam) සිය පදවියේ දිවරුම් දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.