"ගංගා යමුනා ගංගාවන්ට මිනිස් අයිතිවාසිකම් නැහැ "

Image copyright AFP
Image caption ගංගා නම් ගඟ ඉන්දියානු ජන ජීවිතයේම අංගයකි

හින්දු ප්‍රජාව පූජනීයත්වයෙන් ගරු කරන 'ගංගා සහ යමුනා' දෙගංගාවන් සජීවී වස්තූන් ලෙස සැලකිය නොහැකි බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

පසුගිය මාර්තු මාසයේ උත්තරාඛාන්ද් මහාධිකරණය තීන්දුවක් දෙමින් එම දෙගංගාවෝ "මිනිසුන් සතු සියලු නෛතික ඓතිවාසිකම් වලට හිමිකම් ලබන බව" ප්‍රකාශ කර තිබුණි.

එම උත්තරාඛාන්ද් මහාධිකරණය තීන්දුව සලකන ලද්දේ මේවනවිට මහා පරිසර දූෂණයකට ලක් කරනු ලැබ ඇති එහෙත් හින්දු ජනයා අතර අතිශයින් පුද ලබන ගංගා දෙක ආරක්ෂා කර ගැනීමට ගත් පියවරක් හැටියටයි.

එහෙත් එම අධිකරණ තීන්දුවට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ උත්තරාඛාන්ද් ප්‍රාන්ත ආණ්ඩුව, මහාධිකරණ තීන්දුව නෛතික වශයෙන් ස්ථාපිත කළ නොහැකිබවට තර්ක කර තිබිණි.

Image caption ගංගාවේ ස්නානය කිරීම ආගමික වතාවතකි

ගංගා නම් ගඟ හින්දු බැතිමතුන්ගේ පුද ලබන්නේ මාතෘත්වය සංකේතවත් කරන "ගංගා මාතා" නාමයෙනි.

ඉන්දියාවේ කෝටි පනහකට අධික ජනකායක ජීවන මාර්ගය ගංගා නම් ගඟයි.

'ගංගා' මෙන්ම ඇයගේ අතු ගංගාව වන 'යමුනා' ඉන්දියාවේ මහා ගංගා දෙකයි.

දේවත්වයෙන් පුදන අතරම ඉන්දියානු සංස්කෘතිය සමඟ බෙහෙවින් බැඳුණ 'ගංගා සහ යමුනා' ගංගාද්වය ඉන්දියානු ජන ජීවිතයේ නාභිය වී ඇතැයි බීබීසියේ දකුණු ආසියානු කලාපය භාර සංස්කාරිකා ජිල් මැක්ගිවරින් පවසන්නීය.

එහෙත් කර්මාන්ත ශාලාවලින් පිට කෙරෙන අපද්‍රව්‍ය , කසල කාණු සහ ගං ඉවුරේ මළ මිනී පිළිස්සීම ආදී මානවීය ක්‍රියා හේතුවෙන් එම ගංගාවන් මේවනවිට අතිශයින් අපවිත්‍ර කරනු ලැබ ඇත.

Image caption ගංගා මේලා වලදී ශුද්ධ ජලය ස්නානය කෙරෙයි

එම පරිසර දූෂණය නතර කිරීමට අදාළ නීති ඇතත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන බවට විවේචකයෝ චෝදනා කරති.

මාර්තු මාසයේ 'උත්තරාඛාන්ද්' මහාධිකරණය දුන් තීන්දුව මගින් ගංගා දෙකට මිනිසුන්ට සමාන අයිතියක් පැවරීම එම පරිසර දූෂණය නතර කර ගැනීමට ගත් ප්‍රයත්නයක් ලෙස සැලකෙයි.

ගංගාද්වයට අපද්‍රව්‍ය දැමීම හෝ ඒවාට හානි සිදු කරනු ලැබීම පුද්ගලයකුට පහර දීමකට හෝ මනුෂ්‍ය ඝාතනයකට සමාන ක්‍රියාවක් වන බවට අධිකරණය ඉදිරිපිට තර්ක ඉදිරිපත් විය.

එම කරුණු සැලකිල්ලට ගනිමින් ගංගා දෙකට මිනිසුන්ට සමාන අයිතියක් ඇති බවට උත්තරාඛාන්ද් මහාධිකරණය තීන්දු කළ අතර ඊට එරෙහි වූ ප්‍රාන්ත ආණ්ඩුව එය ප්‍රායෝගික නොවන එසේම අනාගතයේ ව්‍යාකූල තත්වයක් නිර්මාණය කෙරෙන තීන්දුවක් විය හැකි බව පෙන්වා දුන්නේය.

ගංගාවන්ට මානව අයිතියක් ආරෝපණය කළහොත්, ගංවතුර ගැලීම් සහ මිනිසුන් දියේ ගිලී මරණයට පත්වන අවස්ථාවන්හි මිනිසුන් ගංගාවන්ට එරෙහිව ඉල්ලීම් කරනු ඇතැයි ප්‍රාන්ත ආණ්ඩුව පවසයි.

Image caption ගංගාවන් අපද්‍රව්‍ය වලින් අපවිත්‍ර කර ඇති ආකාරය

ගංගා සහ යමුනා ආරම්භ වන්නේ උත්තරාඛාන්ද් ප්‍රාන්තයෙනි.

ඉහත කී තර්ක ඉදිරිපත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වූ උත්තරාඛාන්ද් ප්‍රාන්ත ආණ්ඩුව කලින් ප්‍රකාශිත මහාධිකරණ තීන්දුව අහෝසි කර ගැනීමට සමත්ව සිටියි.

එහෙත් ඉන්දියානු භූමිය ඔස්සේ ගලා බසින එරට වැදගත්ම ගංගා දෙක වන 'ගංගා සහ යමුනා' පිරිසිදුව තබා ගන්නේ කෙසේද යන තවමත් පිළිතුරක් නැති ප්‍රධාන ප්‍රශ්නය නොවිසඳුන තත්වයක පවතින බව වාර්තාකරුවෝ පවසති.

Image copyright EPA
Image caption කසල කානු ගංගාවට එක් කෙරෙයි