බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීම යළිත් සංවාදයට

Image caption ශ්‍රීමත් වින්ස් කේබල්- ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනාගත නායකයා වෙන තත්වයක්

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් කිසිදාක ඉවත් නොවනු ඇතැයි සිතන්නට තමා දැන් පටන්ගෙන සිටින බව බ්‍රිතාන්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් වින්ස් කේබල් පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ බීබීසියේ "ඇන්ඩ්රු මාර් (Andrew Marr) වැඩ සටහනට සහභාගී වෙමිනි.

ලේබර් සහ කොන්සර්වේටිව් පක්ෂ දෙක අභ්‍යන්තරයේ පවතින "මහා බෙදීම්" සහ රටේ ආර්ථිකය අගාධයට වැටෙමින් පැවැත්ම තුළින් මහජනතාව අලුතින් සිතන්නට පටන් ගනු ඇතැයි බ්‍රිතාන්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනාගත නායකයා වීමේ ඉඩකඩක් සහිත ශ්‍රීමත් වින්ස් කේබල් බලාපොරොත්තු පළ කරයි.

"තමන් ඡන්දය දුන්නේ තවත් දුප්පත් වෙන්න නොවන බව මහජනතාව තේරුම් ගනීවි. යුරෝපා හවුලේ සාමාජිකත්වය දිගටම පවත්වා ගැනීමේ සමස්ත ප්‍රශ්නය යළිත් ඉස්මතු වේවි කියල මම හිතනවා" වින්ස් කේබල් ප්‍රකාශ කළේය.

එහෙත් යුරෝපා හවුල පිළිබඳව සංශයවාදී මතයක සිටින කොන්සර්වේටිව් පාක්ෂික මන්ත්‍රීවරයකු වන ඕවින් පැටර්සන්, ශ්‍රීමත් කේබල් ඉදිරිපත් කරන අදහස නිෂේධ කරයි.

මන්ත්‍රීවරයා ශ්‍රීමත් වින්ස් කේබල් ගේ අදහස් විග්‍රහ කළේ "වතුර බාල්දි හැමතැනම ඉහිරවීමක්" හැටියටයි.

ජනමත විචාරණයේ දී මෙන්ම පසුගිය මහ මැතිවරණයේ දී යුරෝපා හවුලෙන් ඉවත් වීම වෙනුවෙන් ප්‍රකාශිත දැවැන්ත ඡන්ද ප්‍රමාණය වින්ස් කේබල් විසින් නොතකා හරිනු ලැබ ඇති බවට ඕවින් පැටර්සන් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

Image caption යුරෝපා හවුලෙන් ඉවත් වීමට එරෙහි උද්ඝෝෂණයක්

"වින්ස් කේබල් ගේ පක්ෂය මැතිවරණයේ දී පැරදුණා. අනිත් පුංචි දේශපාලන පක්ෂ වගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටත් අවශ්‍ය කරන්නේ යුරෝපා හවුලේ රැඳී ඉන්නයි" බීබීසී ඉරිදා දේශපාලන සංවාදයට සහභාගී වූ ඕවින් පැටර්සන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

වින්ස් කේබල් ඉන්නේ ඉතිහාසයට පිටිපස්සෙන්. අපි කටයුතු කරමින් ඉන්නේ යුරෝපා හවුලෙන් එළියට එන්න. අපි ඒ ඉලක්කය කරා ගමන් ගනිමින් සිටිනවා" ඕවින් පැටර්සන් වැඩි දුරටත් පවසයි.

යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා අගමැතිනි තෙරේසා මේ අනුගමනය කරන අනාගතයේ දුෂ්කර ප්‍රතිඵල ඇති කෙරෙන පිළිවෙත පරාජය කිරීම සඳහා ලේබර් සහ කොන්සර්වේටිව් පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ කටයුතු කිරීමට තමාට අවශ්‍ය කරන බව මේ අතර වින්ස් කේබල් කියා සිටියි.

"හුඟක් දෙනෙක් දැන් ඉන්නේ ඔලුව හංග ගෙන. ග්‍රීෂ්ම නිවාඩුව ඉවර වෙලා මන්ත්‍රීවරුන් ආපසු ආවාම මොකද වෙන්නේ කියල අපි බලමු" වින්ස් කේබල් පවසයි.

"බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් කිසිදාක ඉවත් වෙන්නේ නැහැයි කියල හිතන්න මම දැන් පටන් අරන්" ඔහු කියා සිටියි.