කටාර් අර්බුදය 'සාකච්ඡාවෙන් විසඳා ගන්න'

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා කටාරයේ එමීර්වරයා සමග Image copyright Embassy of qatar
Image caption ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා කටාරයේ එමීර්වරයා සමග

කටාර් රාජ්‍යය සහ අසල්වැසි රටවල් අතර මතු වී තිබෙන දේශපාලන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුය යන්න සිය ස්ථාවරය බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පවසයි.

විදේශ අමාත්‍ය රවි කරුණානායක ඒ බව සඳහන් කළේ සති අන්තයේදී කටාර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදුනු අවස්ථාවේ කටාරයේ එමීර් තමීම් බින් හමාඩ් අල්-තානි ෂෙයික්වරයා (Sheikh Tamim Bin Hamad Al-Thani), අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් නසර් බින් ඛලීෆා අල් තානි ෂෙයික්වරයා (Sheikh Abdullah bin Nasser bin Khalifa Al Thani) සහ විදේශ අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේදීය.

ද්විපාර්ශ්වික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා සහ කටාරයේ නායකයන් අතර පැවති සාකච්ඡාවලදී අවධානය පළ වූ බව ද කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් සවුදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් පසුගියදා කටාරයට එරෙහිව තාවකාලික සම්බාධක නිවේදනය කළේය.

ඉන් අනතුරුව ඩෝහා අගනුවර මූලස්ථාන කරගත් අල් ජසීරා මාධ්‍ය ජාලය වසා දැමීම ඇතුළු කොන්දේසි ගණනාවක් ඉටුකිරීම පිණිස එම රටවල් විසින් කාල සීමාවක් ලබා දුන් නමුතු කටාර් රාජ්‍යය එම කොන්දේසි ඉටුකිරීම ප්‍රතික්ෂේප කළේය.

තමන්ට ඉදිරිපත් කර ඇත්තේ "ක්‍රියාවට නැංවිය නොහැකි" කොන්දේසි මාලාවක් බව කටාර් රාජ්‍යය පවසයි.

ඉහත කී රටවල් හතරට අමතරව මාලදිවයින සහ යේමනය ද කටාරය සමග සියලු සම්බන්ධතා අත්හිටවනු ලැබ තිබේ.

මේ අතර තම රට ආර්ථික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට එරෙහිව අසල්වැසි රටවලට එරෙහිව වන්දි ඉල්ලා සිටින බව කටාර් බලධාරීහු කියා සිටිති.

120,000 කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද කටාරයේ සේවයේ නිරතව සිටිති.

පනවා තිබෙන සම්බාධකවල බලපෑම බොහෝ අංශවලින් දැනටමත් දැනෙමින් පවතින බව එහි වෙසෙන එක් ශ්‍රී ලාංකික සේවකයෙක් බීබීසී සිංහල සේවයට පැවසූ අතර සම්බාධකවල සැබෑ බලපෑම දැනෙන්නට තවත් බොහෝ කලක් ගතවනු ඇති බව තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ අදහසය.