ගංජා හිඟයක්: නෙවාඩා බලධාරීහු හදිසි පිළියම් සොයති

Image copyright AFP
Image caption ඇස්තමේන්තු කර තිබුණේ ගංජා අලෙවිය නීතිගත කිරීමෙන් අනතුරුව පළමු දින හතර ඇතුළත ඩොලර් මිලියන 3ක අලෙවියක් සහ ඩොලර් මිලියනයක බදු ආදායමකි

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පවතින ගංජා හිඟයට පිළියම් යෙදීම සඳහා හදිසි පියවර ගැනීමට ප්‍රාන්ත බලධාරීහු සළකා බලමින් සිටිති.

ජූලි මස 01වැනිදා පටන් නෙවාඩා ප්‍රාන්තය තුළ ගංජා අලෙවිය නීතිගත කෙරුණු නමුත් පවතින අධික ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවීම හේතුවෙන් ප්‍රාන්තය තුළ දැඩි ගංජා හිඟයක් පවතී.

නමුත් නෙවාඩා ප්‍රාන්තය පුරා ගංජා අලෙවිසැල් විශාල ප්‍රමාණයක් විවෘත කර තිබේ.

එම අලෙවිසැල්වලට ගංජා බෙදාහැරීමේ අවසරය ලබා දී ඇත්තේ මත්පැන් බෙදාහැරීමේ බලපත්‍රය සතු ප්‍රාදේශීය තොග වෙළඳුන්ට ය.

නමුත් ඉන් බහුතරය බලපත්‍ර කොන්දේසි සපුරා නොමැති බව නෙවාඩා ප්‍රාන්තයේ ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

Image caption සැපයුමට වඩා ඉල්ලුම

"හදිසි නිවේදනයක්"

ප්‍රාන්තය පුරා පවතින ගංජා හිඟයට හදිසි පිළියම් යොදන මෙන් බලධාරීන්ට දැනුම්දෙමින් එම දෙපාර්තමේන්තුව විසින් "හදිසි නිවේදනයක්" නිකුත් කරනු ලැබ තිබේ.

බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අති විශාල ඉල්ලුමකට ගංජා කර්මාන්තය මුහුණ දී ඇතැයි නෙවාඩා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ස්ටෙෆනි ක්ලැප්ස්ටීන් පැවසූ බව 'රෙනෝ ගැසට්' සඟරාව සඳහන් කරයි.

නෙවාඩා ඖෂධ ශාලා සංගමය ඇස්තමේන්තු කර තිබුණේ ගංජා අලෙවිය නීතිගත කිරීමෙන් අනතුරුව පළමු දින හතර ඇතුළත ඩොලර් මිලියන 3ක අලෙවියක් සහ ඩොලර් මිලියනයක බදු ආදායමකි.

ඇමරිකාවේ තවත් ප්‍රාන්ත කිහිපයක ම ගංජා අලෙවිය නීතිගත කර ඇති අතර නෙවාඩා ප්‍රාන්තය එම තීරණයට එළැඹියේ පසුගිය නොවැම්බර් මාසයේදී ය. නමුත් එය ක්‍රියාවට නැංවූයේ පසුගිය ජූලි මස පළමුවැනිදා ය.

නමුත් ඖෂධයක් වශයෙන් ගංජා භාවිතයට අවසර ලැබී තිබුණේ වසර 2001 පටන් ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්