කටාර්, ව්‍යාජ පුවත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

Image copyright AFP
Image caption තමන් විසින් පවසන ලදැයි සඳහන් කුපිතකාරී වැකි ගොතන ලද ඒවා බව කටාර් එමීර්වරයා පවසයි

පසුගිය මැයි මාසයේ දී කටාර් රජයට අයත් පුවත් ආයතනයේ වෙබ් අඩවියට රහසින් ඇතුළු වීම පිටුපස තමන් සිටින බවට එල්ල වන චෝදනා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රතික්ෂේප කරයි.

කටාර් එමීර්වරයා සම්බන්ධයෙන් ප්‍රකෝපකාරී වැකි ඇතුළත් වාර්තාවක් පළ කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සැලසුම් කරන ලද්දක් බව ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් ද වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබිණි.

එම වැකි ගොතන ලද ඒවා බව කටාර් එමීර්වරයා අවධාරණය කළේය.

කටාර් රාජ්‍යය සහ අසල්වැසි අරාබි රටවල් අතර අර්බුදකාරී වාතාවරණයක් මතුවීමට ඉහත කී සිදුවීම ද බලපා තිබේ.

එක්සත් අරාබි එමීරයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අන්වර් ගර්ගාෂ් බීබීසීය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ද වොෂිංටන් පෝස්ට් පුවත්පතේ වාර්තාව අසත්‍ය එකක් බවය.

එමෙන්ම 2022 වසරේ දී කටාරයේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඉන් ඉවත් කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෙසු අරාබි රටවල් පහ ජගත් පාපන්දු සම්මේලනයෙන් ලිඛිතව ඉල්ලා නොසිටි බවත් ඇමතිවරයා යළි අවධාරණය කළේය.

'ද ලෝකල්' නමැති ස්විට්සර්ලන්ත ප්‍රවෘත්ති ජාලය කියා සිටියේ ජගත් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා උපුටා දැක්වූ ව්‍යාජ පුවතක් අනුකාරක වෙනත් වෙබ් අඩවියක් විසින් සෙනසුරාදා පළ කරනු ලැබ තිබූ බවය.

තමන් එවැනි පුවතක් පළ නොකළ බව 'ද ලෝකල්' ප්‍රවෘත්ති ජාලය වැඩිදුරටත් සඳහන් කළේය.

පාපන්දු ලෝක කුසලානය කටාර්හි පැවැත්වීම සම්බන්ධයෙන් පළ වූ ඉහත කී වාර්තා ජගත් පාපන්දු සම්මේලනය ද ප්‍රතික්ෂේප කර තිබේ.

Image copyright QNA/Instagram
Image caption ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජලයේ පළව තිබූ ව්‍යාජ පුවතක් බව පැවසෙන වාර්තාව

වෙබ් අඩවියට හැකරුන් ඇතුළුවීම හා සම්බන්ධ සිදුවීමෙන් සති දෙකකට පසු ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට සෞදිය ඇතුළු අරාබි රටවල් කටයුතු කළහ.

කටාර් සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය තවමත් එලෙසම පවතී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර