බීබීසියේ ඉහළ වැටුප්ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරෙයි

Image caption තරඟකාරී මාධ්‍ය කර්මාන්තයේ ඉහළ වැටුප් ගෙවීම් BBC අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යුක්ති සහගත කරනු ලබයි

බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (BBC) තම වැඩ සටහන් ඉදිරිපත් කරන්නන්, මාධ්‍යවේදීන් සහ කලාකරුවන් අතරින් ඉහළම වැටුප් ලබන්නන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත.

බීබීසිය මෙවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව වසරකට පවුම් එක්ලක්ෂ පනස් දහසකට අධික වැටුප්ලාභී බීබීසී මාධ්‍යවේදීන් කවුරුන්ද යන්න රටට හෙළිදරව් කෙරෙයි.

මහජන බදු මුදලින් යැපෙන බීබීසිය එම පියවර ගෙන තිබෙන්නේ එම මහජන මුදල් පාවිච්චි කෙරෙන්නේ කෙසේද යන්න පිළිබඳව පාරදෘෂ්‍යභාවයක් ඇති කිරීමේ අරමුණෙනි.

ඉහළ දීමනා ලබන මාධ්‍යවේදීන් සහ කලාකරුවන් ඇතුළත් ප්‍රකාශිත ලැයිස්තුවට ගුවන් විදුලි වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු වන ක්‍රිස් ඉවාන් සහ පාපන්දු ක්‍රීඩා තරඟ පිළිබඳව බීබීසි වැඩසටහන් මෙහෙයවන හිටපු පාපන්දු ක්‍රීඩක ගැරී ලින්කර් ඇතුළත් වෙති.

Image copyright PA
Image caption ඉහළම වැටුප්ලාභී ක්‍රිස් ඉවාන්ස් සහ ඉහළ වැටුප්ලාභිනිය ක්ලවුඩියා වින්ක්ලෙමන් (Claudia Winkleman)

ඉතාම තරඟකාරී මාධ්‍ය මෙහෙයුමක නිරත වෙමින් සිටින හෙයින් සිය මාධ්‍යවේදීන්ට සහ කලාකරුවන්ට එවැනි ඉහළ වැටුප් ගෙවනු ලැබීම බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටෝනි හෝල් විසින් යුක්ති සහගත කරනු ලැබ ඇත.

බීබීසී ඉහළ වැටුප්ලාභීන්ගේ ලැයිස්තුවේ කාන්තාවන්ගේ ප්‍රමාණය තුනෙන් එකක් පමණක් වන හෙයින් ලිංගික සමානත්වය උදෙසා කාන්තාවන් කඩිනමින් පෙරට ගැනීමේ අවශ්‍යතාවයක් පෙන්නුම් කෙරෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මුල්පෙළේ බීබීසී මාධ්‍යවේදීන් සහ කලාකරුවන් අතර පවුම් දෙලක්ෂ පනස් දහසකට අධික වැටුප් ලාභීන්ගෙන් විසිපස් දෙනෙක් පුරුෂයන් වන අතර කාන්තාවන් සිටින්නේ නවදෙනකු පමණි.

Image caption ඉහළ වැටුප්ලාභී ලැයිස්තුවේ ලිංගික අසමානත්වය

"ලිංගික සමානාත්මතාව සහ සමාජ විවිධත්වය නියෝජනය කිරීම අතින් බීබීසිය සෙසු ආයතනවලට වඩා ඉදිරියෙන් සිටිනවා. ඒ කාරණය අතින් අපි ප්‍රගතියක් පෙන්නුම් කරලා තියෙනව. ඒ වගේම තවත් ගතයුතු පියවර තියෙන බව අපි තේරුම් ගෙනයි ඉන්නේ. වෙනත් විද්‍යුත් මාධ්‍ය ආයතනවලට වඩා අපි ඒ සඳහා කඩිනමින් ඉදිරියට යමින් සිටිනවා" බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටෝනි හෝල් පවසයි.

බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (BBC) ආදායම් මාර්ගය වන්නේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය වෙනුවෙන් මහජනයාගෙන් අය කරනු ලබන බලපත් ගාස්තුවයි..