හිටපු ජනාධිපති සිල්වාගේ වත්කම් අත්හිටුවයි

Lula was once Brazil's most popular president Image copyright EPA
Image caption හිටපු ජනාධිපතිවරයා වරදකරු කරනු ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙනි

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා ගේ සියලු වත්කම් අත්හිටුවන මෙන් විනිශ්චයකරුවෙක් නියෝග කළේය.

බ්‍රසීල අධිකරණය එම නියෝගය කළේ හිටපු ජනාධිපතිවරයා දූෂණ, වංචා චෝදනාවලට වැරදිකරු බව මීට ඉහතදී අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව ඔහුගේ බැංකු ගිණුම්වල තිබී සොයා ගන්නා ලද ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂයකට ආසන්න මුදල අත්හිටුවන බව විනිශ්චයකාර සර්ජියෝ මෝරෝ නිවේදනය කළේය.

හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට අයත් මහල් නිවාස, ඉඩ කඩම් සහ මෝටර් රථ ද එම නියෝගයට යටත් වේ.

'දේශපාලන අරමුණක්'

ඔහුගේ බැංකු ගිණුම් සහ සියලු දේපොලවල වටිනාකම ඩොලර් මිලියන 4.3 ක් බව විනිසුරුවරයා පැවසීය.

මහල් නිවාස තුනක්, ඉඩමක්, මෝටර් රථ දෙකක් සහ බැංකු ගිණුම් දෙකක් ඔහු සතුව තිබෙන බව අධිකරණයට ඉදිරිපත් කෙරුණු ලේඛනවල දැක්වේ.

දේශපාලන අරමුණක් මත එල්ල වූ චෝදනා බව පවසමින් තමන්ට එරෙහි දූෂණ චෝදනා හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

ලබන වසරේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත් වීමට ඔහු බලාපොරොත්තු වෙන අතර, මේ වනවිට ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ඔහුය.

කලක් බ්‍රසීලයේ ජනප්‍රියම ජනාධිපතිවරයා වූ ලූලා ද සිල්වා, වෙරළාසන්න නිවාඩු නිකේතනයක තට්ටු නිවාසයක් නවීකරණය කිරීමක් සම්බන්ධයෙන් ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු බව මීට ඉහතදී අධිකරණය තීන්දු කළේය.

ඔහු එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් රාජ්‍යය විසින් ඔහුගේ සියලුම දෙපොල වෙන්දේසියේ විකුණා එයින් ලැබෙන ආදායම දූෂණ නඩුවේ පැමිණිලිකරු වන රජයට අයත් පෙට්‍රොබ්‍රාස් (Petrobras) ඛනිජ තෙල් සමාගම වෙත පවරා දීමට නියමිතය.

අභියාචනය විභාග වන තුරු සිය දේපොළ පරිහරණය කිරීමට ඔහුට අයිතිය තිබේ.

අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් ඔහුට වසර නවය හමාරක සිරදඬුවමක් ද විඳීමට සිදුවන අතර, හිටපු ජනපතිවරයෙකුට හිමි ආරක්ෂාව ද අහිමි කෙරේ.

ජනප්‍රිය වෘත්තීය සමිති නායකයෙකු වූ ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා 2011 දක්වා වසර අටක් රට පාලනය කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්