සැත්කමට ලක්වෙද්දී ගිටාරය වැයූ සංගීතඥයෙක්

අභිෂේක් ප්‍රසාද් සැත්කම අතරේදී ගිටාරය වයමින් Image copyright PTI
Image caption අභිෂේක් ප්‍රසාද් සැත්කම අතරේදී ගිටාරය වයමින්

මොළයේ සැත්කමකට ලක්වන අතරතුරදී ගිටාරය වාදනය කළ සංගීතඥයකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තාවේ.

අභිෂේක් ප්‍රසාද් බැංගලෝරයේදී සැත්කමකට යොමුවූයේ පාලනයකින් තොරව තම සිරුරේ ඇතිවන වේදනාත්මක ගැස්ම, ඇඹරීම සහ නැවත නැවතත් සිදුවන චලන හෝ අසාමාන්‍ය ඉරියව් සම්බන්ධයෙන් ප්‍රතිකර්මයක් යෙදීම සඳහාය.

ඒ අනුව අදාළ සැත්කම ක්‍රියාත්මකවන අතරේදී ප්‍රසාද්ගේ මොළයේ යම් පද්ධතියක් "අවුළුවන" සෑම අවස්ථාවකදීම ගිටාරය වයන ලෙස වෛද්‍යවරුන් විසින් ඔහුගෙන් ඉල්ලා සිටිනු ලැබිණි.

ප්‍රසාද් බීබීසී වෙත පැවසුවේ සැත්කමින් අනතුරුව දැන් තමන්ට වඩා පහසුවෙන් ගිටාරය වාදනය කළ හැකි බවය.

"හයවෙනි වතාවේ ඇවිලීම වනවිට මගේ අතැඟිලි විදැහුනා. සැත්කම් කළ මේසය මත මට දැනුනේ සාමාන්‍ය තත්ත්වයක්" යැයි අභිෂේක් ප්‍රසාද් පැවසුවේ සැත්කමින් සතියකට පසු බ්‍රහස්පතින්දා (ජූලි 20) වෛද්‍යවරුන් විසින් ඔහුගේ හිසේ මැහුම් ඉවත් කළ පසුය.

'මියුසිෂන්'ස් ඩිස්ටෝනියා' (musician's dystonia) යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන රෝගී තත්ත්වයට ලක්වූ අභිෂේක් ප්‍රසාද් හට ගිටාරය වැයීමේදී සිය වමතේ මැදැඟිල්ල, වෙදැඟිල්ල සහ සුලැඟිල්ල චලනය කිරීම අපහසු විය.

"මං හිතුවේ අධික පුහුණුව නිසා මෙවැනි දරදඬු වීමක් සිදුවී ඇති බවයි. විවේකයක් ගැනීමෙන් අනතුරුව යළිත් උත්සාහ කළත් මට තේරුම් ගියා ඒ තත්ත්වයේ වෙනසක් නැති බව. මාංශපේශි අධික වෙහෙසට පත්වීම නිසා මෙසේ වන්නට ඇතැයි කී සමහර වෛද්‍යවරු වේදනා නාශක, විටමින් වර්ග, භෞතචිකිත්සාව ආදී නොයෙක් දේ දුන්නා" ප්‍රසාද් කීය.

ගිටාරය වයනවිටදී පමණක් ඇඟිලිවල ගැස්ම ඇතිවන බව ඔහු පැවසීය.

එහෙත්, මීට මාස නවයකට ඉහතදී ස්නායු විශේෂඥයකු නිවැරදිව නිශ්චය කළ ආකාරයට අභිෂේක් ප්‍රසාද් ට ඩිස්ටෝනියාව වැළඳී තිබිණි.

"මොළයේ සැත්කමකට ලක්කළ යුතු යැයි කීවිට මං භය වුණා. නමුත් මගේ වෛද්‍යවරයා, ශරන් ශ්‍රීනිවාසන් මට විශ්වාසය දුන්නා" ප්‍රසාද් පැවසීය.

'විදුලි ජනක යන්ත්‍රයක්'

මේ සංගීතඥයා පැවසුවේ සැත්කමේ සෑම අවස්ථාවක්ම තමන්ට අතිශය පැහැදිලිව මතක ඇති බවය.

එම්ආර්අයි ස්කෑන් පරීක්ෂාවකට පෙර, හිස්කබල කපා විවෘත කිරීම සඳහා ඇණ හතරකින් යුතු රාමුවක් තම හිසට සවි කල බව ඔහු ප්‍රකාශ කළේය.

"මොළය ඇතුල් පද්ධතිය නිවැරදි කිරීම සඳහා කෙතරම් ගැඹුරට ඉලෙක්ට්‍රෝඩ ඇතුළු කළ යුතුද යන්න නිශ්චය කරගැනීමට එම ස්කෑන් පරීක්ෂාව උදව් වුණා" ප්‍රසාද් වැඩිදුරටත් සඳහන් කළේ "සැත්කම අතරතුරදී මාව විදුලි ජනක යන්ත්‍රයක් සේ මට දැනුනත්, වේදනාවක් දැනුනේ නැහැ" යනුවෙනි.

ශල්‍යකර්මයෙන් අනතුරුව තමන්ට ගිටාරය වැයිය හැකිවූ බව මේ සංගීතඥයා පවසයි.

"අවශ්‍ය කොටස විතරක් නිර්වින්දනය කර ශල්‍යකර්මය කළ නිසා රෝගියාට වේදනාව දැනුනේ නැහැ" යැයි වෛද්‍ය ශ්‍රීනිවාසන් සඳහන් කළේය.

හිස්කබලේ මිලිමීටර 14ක සිදුරක් සැකසීමෙන් අනතුරුව එතුළට සුවිශේෂී ඉලෙක්ට්‍රෝඩයක් ඇතුළු කළ බව කී වෛද්‍ය ශ්‍රීනිවාසන් "ඉලක්කගත කොටස තිබුනේ මොළයේ සෙන්ටිමීටර 8ත් 9ත් අතර ගැඹුරින්" බව පැවසීය.

Image copyright IMRAN QURESHI
Image caption ශල්‍යකර්මයෙන් අනතුරුව තමන්ට ගිටාරය වැයිය හැකිවූ බව සංගීතඥයා පවසයි

"මුළු ක්‍රියාවලිය පුරාම ඔහු අවදියෙන් සිටියා. ප්‍රතිඵලය සැත්කම් මේසයෙදීම දකින්නට ලැබුනේ ඔහුගේ අතැඟිලි සාමාන්‍ය පරිදි ගිටාරය මත දිවෙන ආකාරය පෙනෙන්නට ලැබුණු නිසයි" වෛද්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය.

"මගේ වමතත්, වම් පාදයත් තරමක් දුර්වලයි" යැයි කී අභිෂේක් ප්‍රසාද් "නමුත් තව මාසයකින් පමණ සුවය ලැබුණු පසු සම්පුර්ණ පුහුණුවීම් පටන්ගන්නවා" යැයි කීය.

"සජීව මස්තිෂ්ක සැත්කම" ඉන්දියාව තැබූ වැදගත් සන්ධිස්ථානයක් බව කී වෛද්‍ය ශ්‍රීනිවාසන් "ස්නායු සම්බන්ධ ආබාධවලට ලක්වන අය මහත් පසුතැවිල්ලට පත්ව තමන්වම සමාජයෙන් ඈත්කරගන්නවා. එවැනි රෝගීන් වෙත අපේ අවධානය යොමු කිරීම අවශ්‍යයි" යනුවෙන් පෙන්වාදුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර