උතුරු කොරියාවට යාම තහනම්?

Image copyright Reuters
Image caption "උතුරු කොරියාවෙන් වහාම ඉවත්වන ලෙස ඇමරිකානු පුරවැසියන්ගෙන් දැඩි ඉල්ලීමක්"

ඇමරිකානු පුරවැසියන්ට උතුරු කොරියාවේ සංචාරය කිරීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට එක්සත් ජනපද බලධාරීන් තීරණය කර ඇති බව සංචාරක නියෝජිත ආයතන දෙකක් පවසයි.

'කොර්යෝ සංචාරකයෝ' සහ 'යන්ග් පයනියර් සංචාරකයෝ' යන නියෝජිත ආයතන ප්‍රකාශ කළේ මෙම තහනම ජූලි 27වැනිදා නිවේදනය කෙරෙනු ඇති අතර දින 30කට පසු එය ක්‍රියාත්මක වනු ඇති බවය.

නමුත් එක්සත් ජනපද බලධාරීන් තවමත් මෙම ප්‍රවෘත්තිය සනාථ කර නොමැත.

ඇමරිකානු ශිෂ්‍යයෙකු වූ ඔටෝ වෝම්බියර් උතුරු කොරියාවට ගියේ 'යන්ග් පයනියර් සංචාරකයෝ' නමැති සංචාරක නියෝජිත ආයතනය හරහා ය. මෙම ශිෂ්‍යයා උතුරු කොරියාවේදී අත්අඩංගුවට පත් වූ අතර පහළොස් වසරක සිර දඬුවමකට යටත් කරන ලදී.

මෙම ශිෂ්‍යයා පසුගිය ජුනි මාසයේදී එක්සත් ජනපදයට නැවත එවන ලද නමුත් ඒ වනවිට ඔහු සිහිසුන්ව සිටියේය. ඉන් සතියකට පසු ඔහු මිය ගියේය.

Image copyright Reuters
Image caption ඔටෝ වෝම්බියර්ගේ මොළයට දරුණු හානි සිදුව තිබූ බව ඇමරිකානු වෛද්‍යවරු පවසති

මෙම සිදුවීමෙන් අනතුරුව 'යන්ග් පයනියර් සංචාරකයෝ' නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මින් ඉදිරියට එක්සත් ජනපදයේ කිසිවෙකු උතුරු කොරියාවට නොයවන බවය. මෙය චීනයේ සිට ක්‍රියාත්මක වන සංචාරක නියෝජිත ආයතනයකි.

'යන්ග් පයනියර්' සංචාරක ආයතනයේ රෝවන් බියර්ඩ්, බීබීසීයට කියා සිටියේ ඇමරිකානු පුරවැසියන් උතුරු කොරියාවට නොයවන ලෙස ස්වීඩනයේ තානාපති කාර්යාලය විසින් තමන්ට දැනුම් දෙනු ලැබ ඇති බවය. උතුරු කොරියාවට යැවෙන ඇමරිකානු පුරවැසියන් පිළිබඳව සියලු නිල කටයුතු සිදු කරනු ලබන්නේ ස්වීඩන් තානාපති කාර්යාලය විසිනි.

මේ වනවිට උතුරු කොරියාව තුළ ඇමරිකානු පුරවැසියන් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි දැන ගැනීම සඳහා ස්වීඩන් තානාපති කාර්යාලය උත්සාහ දරමින් සිටී.

උතුරු කොරියාවෙන් වහාම ඉවත්වන ලෙස ස්වීඩන් තානාපති කාර්යාලය ඇමරිකානු පුරවැසියන්ගෙන් දැඩි ඉල්ලීමක් කර ඇති බව 'යන්ග් පයනියර්' සංචාරක ආයතනයේ රෝවන් බියර්ඩ් ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ දින 30ක සහන කාලයක් ලබා දී ඇත්තේ උතුරු කොරියාව තුළ සිටින ඇමරිකානු සංචාරකයන්ට සහ මානවීය ආධාර කණ්ඩායම්වලට රටින් ඉවත්වීම සඳහා බවය.

Image copyright GETTY IMAGES VIA KNCA
Image caption උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සිය හමුදාව සමඟ

මෙම සංචාරක තහනම පිළිබඳව ස්වීඩන තානාපති කාර්යාලය විසින් තමන්ට ද දැනුම් දෙනු ලැබ ඇති බව 'කොර්යෝ' සංචාරක නියෝජිත ආයතනය පවසයි.

නමුත් එම තහනම ක්‍රියාවට නැංවෙන තුරු තම ආයතනයේ ව්‍යාපාරික කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවන බව 'කොර්යෝ සංචාරකයෝ' හි සයිමන් කොකරිල් ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ මෙය සංචාරක කර්මාන්තයට පමණක් නොව, ඇමරිකානුවන්ගේ සැබෑ ස්වභාවය දැන ගැනීම සඳහා කැමැත්තෙන් සිටින උතුරු කොරියානුවන්ට ද අවාසනාවන්ත තත්වයක් බවය.

ඇමරිකානු සංචාරකයන් සඳහා පනවා තිබූ දැඩි නීතිරීති උතුරු කොරියාව විසින් ලිහිල් කරන ලද්දේ 2010 වසරේදී ය.

ඇමරිකානු පුරවැසියන් උතුරු කොරියාවේ සංචාරය කිරීම තහනම් කිරීමට, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගිය අප්‍රේල් මාසයේ පටන් සළකා බලමින් සිට ඇති බවත් වෝර්ම්බියර් ශිෂ්‍යයා ගේ මරණයෙන් පසු එය කඩිනම් වූ බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලධරයෙක් පැවසීය.

Image copyright Reuters
Image caption ප්‍රචාරණ පුවරුවක් සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිර ගත කෙරුණු ඔහු නැවත පියවි සිහියට පැමිණියේ නැත

මෙම ශිෂ්‍යයා උතුරු කොරියාවේ දී අත්අඩංගුවට පත්වූයේ 2016 ජනවාරි 02වැනිදාය.

ඔටෝ වෝම්බියර් වසරක කාලයක් කෝමා තත්වයේ පසු වූ බව පවසන උතුරු කොරියාව, මානුෂීය කරුණු මත පදනම්ව ඔහු නිදහස් කරන බව සඳහන් කළේය.

ප්‍රචාරණ පුවරුවක් සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිර ගත කෙරුණු ඔහු නැවත පියවි සිහියට පැමිණියේ නොමැත.

ඔටෝ වෝම්බියර්ගේ මොළයට දරුණු හානි සිදුව තිබූ බව ඇමරිකානු වෛද්‍යවරු පවසති.

මාස පහළොවක් පුරා සිය පුතු පිළිබඳ කිසිදු තොරතුරක් අසන්නට නොලැබුණු බව ඔහුගේ දෙමව්පියෝ කියා සිටියහ.

උතුරු කොරියාව තුළ සිර භාරයේ පසු වූ ඇමරිකානු සිසුවාගේ මරණය පිළිබඳ අදහස් දැක්වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව "කුරිරු පාලනයක්" සහිත රටක් ලෙස හඳුන්වයි.

"ඔහු වසර එක හමාරක් උතුරු කොරියාවෙ ගත කළා. ගොඩක් නරක දේවල් සිදු වුනා. උතුරු කොරියාව කියන්නේ කුරිරු පාලනයක් සහිත රටක්. ඔවුන්ව පාලනය කරන්න අපට හැකි වේවි" යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර