ලෝකයේ ළමා මනාලියන්ගෙන් 'තුනෙන් එකක් ඉන්දියාවේ'

ඉන්දියාවේ ළමා විවාහ Image copyright FAWZAN HUSAIN

ලොව පුරා වෙසෙන කාන්තාවන් අතරින් කෝටි 25 කට අධික පිරිසක් පහළොස් වෙනි විය සපිරීමට ප්‍රථම විවාපත් වූවන් බව ඇස්තමේන්තු කෙරේ.

ඒ අතරින් බහුතරය යුග දිවියට එළඹී තිබෙන්නේ බලහත්කාරයෙනි.

දැරියක ළමා වියේදී විවාහ කරදීම මගින් ඇයගේ ළමා විය, අධ්‍යාපනය සහ නිදහස අහිමිවනු මතු නොව, සෞඛ්‍ය ගැටළු ද මතුවන අතර ඔවුන් බොහෝ විට හිරිහැරවලට සහ දූෂණයට පවා ලක්වන බව ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ළමා විවාහ වැළැක්වීමේ අරමුණින් ක්‍රියා කරන සංවිධාන පෙන්වා දෙති.

එම සංවිධාන විසින් රැස් කරන ලද තොරතුරුවලට අනුව ලොව පුරා ළමා විවාහවලට වැඩිපුරම ගොදුරු වන්නේ උප-සහරා අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ඉතා දිළිඳු සහ දුෂ්කර පලාත්වල වාසය කරන දැරියන්ය.

සබැඳි යොමු:

මේ අතර ළමා විවාහ පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් කරන ඇක්ෂන් ඒඩ් (Action Aid) ආයතනය, ළමා විවාහවලට එරෙහිව දිගු කලක් මුළුල්ලේ විවිධ දැනුවත් කිරීම් සිදු කළත්, ලෝකයේ ළමා මනාලියන්ගෙන් තුනෙන් එකකම තවමත් වෙසෙන්නේ ඉන්දියාවේ බව සඳහන් කරයි.

එබැවින් බාල වියේ දැරියන් විවාහ කරදීමට එරෙහිව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන මෙන් ඇක්ෂන් ඒඩ් ආයතනය ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Image copyright World bank

එමෙන්ම ළමා වියේ සිටම ළමා විවාහවල ආදීනව වටහා දෙන අන්දමින් පෙළපොත් යළි සකස් කිරීම සහ ළමා විවාහ වැළැක්වීමේ ප්‍රචාරක ව්‍යාපාරයට පිණිස පුරුෂයන් සම්බන්ධ කරගැනීම පුණ්‍යායතනය ඉදිරිපත් කරන අනෙක් නිර්දේශ අතර වේ.

2011 දී ඉන්දියාවේ පැවති ජනසංගණනය ඇසුරෙන් එම වාර්තාව සකස් කරන පුණ්‍යායතනය පවසන පරිදි කෝටි දහයකට අධික ඉන්දියානුවෝ විවාපත් වී තිබෙන්නේ විවාහ වීමේ නීත්‍යානුකූල වයස වන දහ අට හැවිරිදි විය සම්පූර්ණ වීමට පෙරාතුවය.

'ට්‍රිලියන ගණනක පාඩුවක්'

නීතියේ කවරක් සඳහන් වුවත් ළමා විවාහ ඉන්දීය සංස්කෘතියේ අංගයක් බව සඳහන් කරන වාර්තාව, කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඉන්දීය සමාජය එය පිළිගන්නා බවත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ළමා විවාහ එතරම් ප්‍රචලිතව නැතත්, මුස්ලිම් ජනතාවට පමණක් බලපැවැත්වෙන මුස්ලිම් විවාහ සහ දිකක්සාද පනත (MMDA) හේතුවෙන් ඇතැම් මුස්ලිම් දැරියන් මුහුණ දෙන ශෝචනීය ඉරණම පිළිබඳව බීබීසී සිංහල සේවය පැවැත්වූ විශේෂ ගවේෂණයක වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මුස්ලිම් ළමා විවාහ 'වැඩිවීමේ ප්‍රවණතාවක් '

මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සඳහාත් විවාහවීමේ වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවිය යුතු බව මුස්ලිම් ක්‍රියාකාරිනියන් පවසන නමුත් තව්හීඩ් ජමාත් වැනි ඇතැම් සංවිධාන එයට දැඩි විරෝධය පළකරති.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පමණක් මුස්ලිම් ජනතාව අතර ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහල ගොස් ඇති බව ද එමගින් හෙළිදරවු කෙරිණ.

සබැඳි යොමු:

මේ අතර ලොව පුරා බොහෝ රටවල තවමත් ක්‍රියාත්මක වන ළමා විවාහ හේතුවෙන් ඉදිරි දශකයක පමණ කාලය ඇතුළත ලෝකයට ඩොලර් කෝටි ලක්ෂ ගණනක (ඩොලර් ට්‍රිලියන ගණනක) මූල්‍ය හානියක් සිදු වනු ඇති බව පසුගියදා ලෝක බැංකුව (World Bank) සහ කාන්තාවන් සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය (Centre for Research on Women- ICRW) පැවැත්වූ ඒකාබද්ධ පර්යේෂණ වාර්තාවකින් හෙළිදරවු කෙරිණ.

දරුවන් විවාහ කරදීමේ සම්ප්‍රදායයට නැවතීමේ තිත තැබීම මගින් දැරියන් සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, කාන්තාවන්ගේ ආදායම සහ පවුලේ සුභසාධනය කෙරෙහි ද ප්‍රබල සාධනීය බලපෑමක් ඇති කෙරෙන බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර