මාධ්‍යවේදීන්ට නොමිලේ නිවාස ලබාදෙන ජනාධිපතිවරයෙක්

Image copyright PRESIDENT.AZ
Image caption "මම ඔබට ණයගැතියි" -මාධ්‍යවේදීන් අමතන ජනපති ඉල්හම් අලියෙව්

අසර්බයිජානයේ ආණ්ඩුව එරට මාධ්‍යවේදීන් 225 දෙනෙකුට නොමිලේ මහල් නිවාස ලබා දී ඇති බව අසර්බයිජානු පුවත්පතක් වන'Xalq Qazeti' වාර්තා කරයි.

මාධ්‍ය මෙහෙවර අගයමින් එරට ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ අසර්බයිජානයේ ජාතික පුවත්පත් දිනය සැමරීම වෙනුවෙනි.

එරට මාධ්‍යවේදීන්ට නොමිලේ නිවාස ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය නොවේ. අසර්බයිජානයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් ප්‍රථම මහල් නිවාස ගොඩනැගිල්ල ඉදි කෙරුණේ 2013 වසරේදී ය.

අදට යෙදී ඇති (ජූලි 22) ජාතික පුවත්පත් දිනය සැමරෙන්නේ අසර්බයිජානු භාෂාවෙන් මුද්‍රණය වූ ප්‍රථම පුවත්පත එළිදැක්වූ දිනය සිහිපත් කරමිනි. ඒ 1875 දී එළිදුටු Akinci පුවත්පතයි.

2010 දී ප්‍රථම වරට ජාතික පුවත්පත් දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ අසර්බයිජානයේ හිටපු ජනාධිපති හෙයිඩාර් අලියෙව් විසිනි.

හිටපු ජනාධිපතිවරයාගේ පුත් වත්මන් ජනපති ඉල්හම් අලියෙව් විසින් අද ජාතික පුවත්පත් දිනය සමරන ලද්දේ මාධ්‍යවේදීන්ට නොමිලේ මහල් නිවාස තෑගි කරමිනි.

ඊට අමතරව ජනමාධ්‍ය දියුණු කිරීම සඳහා ලබා දී ඇති අතර මාධ්‍යවේදීන් වෙනුවෙන් තවත් මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන තුනක් වෙන්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

මෙවර තෑගිකළ එක් මහල් නිවාසයක් තැනීම සඳහා ඩොලර් 50,000ක් පමණ වැයවී තිබේ.

මාධ්‍යවේදීන්ට නිවාස තැනීමට තවත් ඩොලර් මිලියන තුනක්

Image copyright PRESIDENT.AZ
Image caption මාධ්‍යවේදීන්ට නිවාස තැනීමට තවත් ඩොලර් මිලියන තුනක්

මම ඔබට ණයගැතියි"

මාධ්‍යවේදීන්ට නිවාස ප්‍රදානය කරමින් කතාකළ ජනාධිපති අලියෙව් කියා සිටියේ මාධ්‍යවේදීන් තමන්ගේ "සහායකයන්" බවය.

"ආණ්ඩුවේ නිලධාරීන් දන්නවා භාෂණයේ නිදහස සහ මාධ්‍ය නිදහස නිසා ඔවුන්ට වැරදි කරන්නට ඉඩ නොලැබෙන බව. ඒ නිසයි මාධ්‍යවේදීන් මගේ සහායකයන් වෙන්නේ." යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

"ඒ වෙනුවෙන් මම ඔබට ණයගැතියි" ඔහු තවදුරටත් කියා සිටියේය.

අසර්බයිජානයේ මාධ්‍යයට කිසිදු සීමාවක් පනවා නැති බවත් භාෂණයේ නිදහස තහවුරු කර ඇති බවත් එරට ජනාධිපතිවරයා අවධාරණය කරයි.

"අල්ලසක්"

නමුත් එක්සත් ජනපදය මූලස්ථානය කොටගත් මාධ්‍ය විමර්ශන ආයතනයක් වන "ෆ්‍රීඩම් හවුස්" (Freedom House) දරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසන්නේ අසර්බයිජානයේ මාධ්‍ය නිදහසක් නොමැති බවය.

'දේශසීමා නොමැති වාර්තාකරුවෝ' හෙවත් RSF (Reporters Without Borders) ආයතනය 2017 වර්ෂය සඳහා නිකුත් කර ඇති මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ, රටවල් 180ක් අතරින් අසර්බයිජනයට හිමිවන්නේ 162 වැනි ස්ථානයයි.

කෙසේ නමුත් මාධ්‍යවේදීන්ට මහල් නිවාස තෑගි කිරීම පිළිබඳව පළවන අදහස් විවිධාකාරය.

ඇතැමුන් මෙය "ඇගයීමක්" වශයෙන් හඳුන්වා ඇති අතර තවත් අයෙක් එය "අල්ලසක්" වශයෙන් හඳුන්වති.

මේ පිළිබඳව නිර්මාණය කරන ලද කාටුන් චිත්‍ර ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ඉන් එක් කාටුනයකින් දැක්වෙන්නේ මිනිස් සිරුරක විශාල තට්ටම් යුගලක් සහ ඒ අතරට යාම සඳහා පෙළ ගැසී සිටින මාධ්‍යවේදීන් පිරිසකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්