'ඉස්ලාමීය කැරලිකරුවන් මැඩීමට' පිලිපීනයේ දූපතක යුද නීතිය

There were protests outside congress on Saturday against the law Image copyright EPA
Image caption යුද නීතිය දීර්ඝ කිරීමට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපස උද්ඝෝෂණ

මින්දනාඕ දූපතේ ඉස්ලාමීය කැරලිකාරිත්වයට එරෙහිව පියවර ගැනීමේ අරමුණින් පනවනු ලැබ තිබෙන යුද නීතිය තවදුරටත් දීර්ඝ කිරීමේ යෝජනාවකට පිලිපීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළ විය.

ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට සම්බන්ධ ඉස්ලාමීය කැරලිකරුවෝ, පසුගිය මැයි මාසයේ සිට මින්දනාඕ දූපතේ දකුණු ප්‍රදේශයේ පිහිටි මරාවි (Marawi) නගරය අත්පත් කරගෙන සිටිති.

කැරලිකාරිත්වය මර්ධනය කිරීම පිණිස යුද නීතිය දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රොද්‍රිගෝ දුටාර්ටේ පවසන නමුත් එය ජනාධිපතිවරයාගේ බලය තහවුරු කරගැනීමේ පුළුල් ක්‍රියාදාමයක තවත් පියවරක් බව විවේචකයෝ පවසති.

සබැඳි යොමු:

සිය කලාපයට දැනට වඩා ස්වාධීනත්වයක් පතා සටන කරන මුස්ලිම් කැරලිකාර සංවිධාන කිහිපයක්ම මින්දනාඕ දූපතේ සිට සටන් කරති.

එහි යුද නීතිය පැනවීමත් සමග නීතිය ක්‍රියාත්මක කිරීමට සහ නඩු පැවරීමෙන් තොරව දීර්ඝ කාලයක් පුද්ගලයන් රඳවා ගැනීමට හමුදාවට අවසර ලැබේ.

Image copyright AFP
Image caption කැරලිකාරිත්වය ආරම්භවීමෙන් අනතුරුව පාලුවට ගිය මරාවි නගරය

සිය සම්පූර්ණ පාලන කාලයම පාහේ යුද නීතිය යටතේ පාලනය කළ ඒකාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ගෙන් අනතුරුව යුද නීතිය යනු පිලිපීනයේ ඉතා සංවේදී මාතෘකාවකි.

ආරක්ෂක හමුදාව සහ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක කැරලිකරුවන් අතර හටගත් දරුණු සටනකින් අනතුරුව මීට මාස දෙකකට ඉහතදී (මැයි 23) මින්දනාඕ දූපතේ ක්‍රියාත්මක කෙරුණ යුද නීතිය සෙනසුරාදා (ජුලි 22) අහෝසි වීමට නියමිතව තිබුණි.

'රට පුරාම?'

එය දීර්ඝ කරනු ලැබීමත් සමග මින්දනාඕ දූපතේ යුද නීතිය ලබන දෙසැම්බර් 31 වෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.

කැරලිකරුවන් විසින් මරාවි නගරයේ දී පොලිස් නිලධාරීන් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව රට පුරාම යුද නීතිය පනවන බවට පසුගිය මැයි මාසයේ ජනාධිපති දුටාර්ටේ අනතුරු ඇඟවීය.

කෙසේ වුවත්, මරාවි නගරයට පමණක් යුද නීතිය ක්‍රියාත්මක නොකොට මුළු දූපත පුරාම පැනවීමේ අවශ්‍යතාව කවරක් දැයි විරුද්ධ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ප්‍රශ්න කළහ.

Image caption මින්දනාඕ දූපත සහ මරාවි නගරය

එහෙත් ඉස්ලාමීය කැරලිකරුවන් දූපත පුරා සැරි සැරීම වැළැක්වීම පිණිස දූපත පුරාම යුද නීතිය පැනවීමේ අවශ්‍යතාවය හමුදා ප්‍රධානියා අවධාරණය කර තිබේ.

මේ අතර යුද නීතිය දීර්ඝ කිරීමට එරෙහිව උද්ඝෝෂකයන් පිරිසක් පාර්ලිමේන්තුව ඉදිරියේ පෙළපාලි දැක්වූහ.

සබැඳි විෂයයන්