දස හැවිරිදි දියණියට ගබ්සාවක් ඉල්ලා දෙමාපියන් ශ්‍රේෂ්ඨාධිකරණයට

Image copyright AFP
Image caption ළමා අපයෝජනයට එරෙහිව ඉන්දියාවේ පැවති විරෝධතාවක්

දූෂණයට ලක්වීමෙන් ගැබ්ගෙන සිටින දස හැවිරිදි දැරියක ගබ්සාවට ලක්කළ යුතුදැයි තීරණය කිරීම සඳහා එම දැරිය පරීක්ෂාකරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍යවරුන්ට නියෝග කරයි.

තම දියණියගේ දරු ගැබ ඉවත් කිරීමට අවසර දෙනලෙස ඉල්ලා දූෂණයට ලක්වූ දැරියගේ දෙමාපියන් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

දස හැවිරිදි දැරියගේ ශරීරය දරුවෙකු වැදීම සඳහා ප්‍රමාණවත් ලෙස වැඩී නොමැති බව වෛද්‍යවරු පවසති. ඇය මේවනවිට සති 26ක දරු ගැබක් දරන බව වාර්තා වෙයි.

නමුත් ඉන්දීය නීතියට අනුව සති 20ක් ඉක්මවූ දරු ගැබක් ඉවත් කිරීමට අවසර නොමැති අතර එසේ කළ හැක්කේ දරු ප්‍රසූතියේ දී මවගේ ජීවිතය හානි විය හැකි බවට වෛද්‍යවරු විනිශ්චය කළහොත් පමණි.

මෙම දැරිය පසුගිය මාස හත ඇතුළත කිහිප වරක්ම තම මාමා විසින් දුෂණය කරනු ලැබ ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබුණි. දැරියගේ මාමා මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

තම දියණිය ගැබ්ගෙන ඇතිබව දෙමාපියන් දැනගෙන ඇත්තේ උදරයේ වේදනාවකට ප්‍රතිකාර ගැනීම සඳහා දැරිය වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන ගිය අවස්ථාවේදී ය.

Image copyright AFP
Image caption ඉන්දියාවේ සෑම විනාඩි 155කට වරක් වයස අවුරුදු 16ට අඩු දැරියක දූෂණය වන අතර සෑම පැය තුනකට වරක් වයස අවුරුදු දහයකට අඩු දැරියක දූෂණයට ලක්වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත මෙම දැරිය ලබන බදාදා (ජූලි 26) වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.

දරු ප්‍රසූතිය මවගේ ජීවිතයට කෙතරම් අවදානම් සහගත විය හැකිද යන්න විනිශ්චය කිරීමෙන් අනතුරුව ඇය ගබ්සාවකට ලක් කරන්නේදැයි තීරණය කෙරෙනු ඇත.

මෙම දරුගැබ අත්හිටුවීම සඳහා අවසර දෙන ලෙස දෙමාපියන් කළ ඉල්ලීම ඉන්දියාවේ චන්දිගාර් හි දිස්ත්‍රික් උසාවිය පසුගිය සතියේ ප්‍රතික්‍ෂේප කර තිබුණි.

අතිශය දුගී පවුලක උපන් මෙම දැරියගේ පියා රජයේ පහළ මට්ටමේ රැකියාවක නිරත වන අතර මව මෙහෙකාර සේවයේ යෙදෙන්නියක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ ළමා අපයෝජන:

  • සෑම විනාඩි 155කට වරක් වයස අවුරුදු 16ට අඩු දැරියක දූෂණය වන අතර සෑම පැය තුනකට වරක් වයස අවුරුදු දහයකට අඩු දැරියක දූෂණයට ලක්වෙයි.
  • 2015 වසර ඇතුළත ළමුන් 10,000කට අධික පිරිසක් දූෂණයට ලක්වී තිබේ.
  • ඉන්දියාවේ කාන්තාවන් මිලියන 240ක් විවාහ වී ඇත්තේ වයස අවුරුදු 18 පිරීමට පෙර ය.
  • ඉන්දීය රජය මගින් සිදු කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇත්තේ ඊට සහභාගී වූ ළමුන්ගෙන් 53.22%ක් කිසියම් හෝ අපයෝජනයකට ලක්වී ඇති බවය.
  • මෙම ළමුන්ගෙන් 50%ක් පමණ අපයෝජනයට බඳුන් වී ඇත්තේ පවුලේ විශ්වාසවන්තයන් අතින් හෝ එම දරුවන් රැකබලාගත් අය අතිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්