ප්‍රතිජීවක ඖෂධ ගැන අලුත් මතයක්

Image copyright Getty Images

වෛද්‍යවරයෙකු ප්‍රතිජීවක ඖෂධ නියම කළවිට, මුළු වට්ටෝරුව නිමවීමට පෙර එම ඖෂධ භාවිතය නතර නොකළයුතු බවට ලැබෙන උපදෙස පිළිබඳව නැවත සළකා බැලිය යුතු බව බ්‍රිතාන්‍යයේ BMJ වෛද්‍ය සඟරාව පවසයි.

මෙම සඟරාවේ සඳහන් වන්නේ වට්ටෝරුවේ නියමිත ප්‍රමාණය නිම වීමට පෙර ප්‍රතිජීවක ඖෂධ භාවිතය නතර කිරීම හේතුවෙන් අදාළ බැක්ටීරියාව හෝ වෛරසය එම ඖෂධයට ඔරොත්තු දෙන තත්වයකට පත්වන බවට පවතින මතය සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවය.

රෝගී තත්වය සමනය වෙමින් පවතීනම් ප්‍රතිජීවක ඖෂධ භාවිතය නතර කිරීම යෝග්‍ය වේදැයි නිගමනය කිරීම සඳහා තවදුරටත් අධ්‍යයනය කළයුතු බව BMJ සඟරාව යෝජනා කරයි. එසේ වුවහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතය අඩුකර ගත හැකි බව ඔවුන්ගේ මතය වේ.

Image copyright Getty Images

කෙසේ නමුත් එක් අධ්‍යයනයක ප්‍රතිඵල මත, තමන් ඖෂධ ලබා ගන්නා ආකාරය වෙනස් නොකරන ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

බ්‍රිතාන්‍යයේ රාජකීය වෛද්‍ය විද්‍යාලයේ මහාචාරිනී හෙලන් ස්ටෝක්ස් ලැම්පාර්ඩ් කියා සිටියේ රෝග ලක්ෂණ පහව ගිය පමණින් ශරීර අභ්‍යන්තරයේ පවතින ආසාදනය සම්පුර්ණයෙන්ම තුරන් වී ඇතැයි නිගමනය කළ නොහැකි බවය.

නමුත් ප්‍රතිජීවක ඖෂධවලට දක්වන ප්‍රතිරෝධය එන්න එන්නම වැඩිවෙමින් පවතින හෙයින් එය පාලනය කර ගැනීමට නම් එකී ඖෂධ භාවිතය අවම කළයුතු බව, එංගලන්තයේ විවිධ ප්‍රදේශවල සමීක්ෂණයක් දියත් කළ විශේෂඥ කණ්ඩායමේ තර්කය වී තිබේ.

Image copyright SPL
Image caption ප්‍රතිරෝධය ඉහළ යාමේ අවදානම

බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් සහ සසෙක්ස් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය මාටින් ලෙවෙලින් සහ එහි ආචාර්ය මණ්ඩලය පවසන්නේ පමණට වඩා වැඩි කාලයක් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම මගින් ඊට දක්වන ප්‍රතිරෝධය ඉහළ යාමේ අවදානම ද වැඩි විය හැකි වන බවය.

එමෙන්ම කෙටි කාලීනව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම මගින් (දින තුනේ සිට පහ දක්වා) නිසි ප්‍රතිඵල ලබා ගත හැකි බවට සනාථ වන සාක්ෂි මේවනවිට ලැබෙමින් පවතින බවද ඔවුහු පවසති.

කෙසේ නමුත් මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

ප්‍රතිජීවක ඖෂධ දීර්ඝ කාලීනව ලබා දිය යුතු විශේෂිත වූ අවස්ථා පවතින බවත් ඔවුහු පිළිගනිති.

ලොව පුරා ජනතාව ප්‍රමිතියකින් තොරව ප්‍රතිජීවක භාවිත කිරීම හේතුවෙන් ප්‍රතිජීවක ප්‍රතිරෝධය බරපතල ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව වෛද්‍යවරු පවසන අතර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව අවධාරණය කරති.

බැක්ටීරියා ප්‍රභේදයකට ප්‍රතිකාර කිරීමේ දී ලබා දිය හැකි අවසන් ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්නත් එමගින් ප්‍රතිඵල නොලැබෙන තත්වයක් පවතින බව චීනයේ කරන ලද පර්යේෂණයකින් හෙළිවී තිබුණි.

මේ නිසා ඒ සම්බන්ධයෙන් වහා කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතුව ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය එය තම සංවිධානයේ බලවත් අවධානයට ලක්ව ඇති බව ප්‍රකාශ කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර