වයස 10යි, දරු ගැබට සති 32යි: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Image copyright AFP
Image caption ඉන්දියාවේ සෑම විනාඩි 155කට වරක් වයස අවුරුදු 16ට අඩු දැරියක දූෂණය වන අතර සෑම පැය තුනකට වරක් වයස අවුරුදු දහයකට අඩු දැරියක දූෂණයට ලක්වෙයි

දූෂණයට ලක්වූ දස හැවිරිදි දැරියට ගබ්සාවක් කිරීම සඳහා දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

මෙම දැරියගේ දරු ගැබට සති 32ක් ගතවී ඇති බවත් මේරූ දරු ගැබක් ඉවත්කිරීම ඉතා අවදානම් බවත් වෛද්‍යවරු අධිකරණයට දැනුම් දුන්හ.

මෙම දස හැවිරිදි දැරිය පසුගිය මාස හත ඇතුළත කිහිප වතාවක් දූෂණය කර ඇති බවට චෝදනා එල්ල වන්නේ ඇයගේ මාමාට ය.

මීට දෙසතියකට පෙර උදරයේ ඇතිවූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන ගිය අවස්ථාවේ දී මෙම දැරිය ගැබ්ගෙන ඇති බව දෙමාපියන්ට දැනගන්නට ලැබුණි.

Image copyright AFP
Image caption ළමා අපයෝජනයට එරෙහිව ඉන්දියාවේ පැවති විරෝධතාවක්

මව මෙහෙකාර සේවයේ

ඇයට ගබ්සාවක් කිරීමට අවසර දෙන ලෙස දෙමාපියන් කළ ඉල්ලීම මීට පෙර පහළ උසාවියකින්ද ප්‍රතික්ෂේප විය.

ඉන්දීය නීතියට අනුව සති 20ක් ඉක්මවූ දරු ගැබක් ඉවත් කිරීමට අවසර නොමැති අතර එසේ කළ හැක්කේ දරු ප්‍රසූතියේ දී මවගේ ජීවිතය හානි විය හැකි බවට වෛද්‍යවරු විනිශ්චය කළහොත් පමණි.

කෙසේ නමුත් මෙම දැරියට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ නිසි සායන කටයුතු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වෛද්‍යවරුන්ට නියෝග කරන ලදී.

දැරිය දූෂණය කළ බවට චෝදනා ලත් පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

අතිශය දුගී පවුලක උපන් මෙම දැරියගේ පියා රජයේ පහළ මට්ටමේ රැකියාවක නිරත වන අතර මව මෙහෙකාර සේවයේ යෙදෙන්නියක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ ළමා අපයෝජන:

සෑම විනාඩි 155කට වරක් වයස අවුරුදු 16ට අඩු දැරියක දූෂණය වන අතර සෑම පැය තුනකට වරක් වයස අවුරුදු දහයකට අඩු දැරියක දූෂණයට ලක්වෙයි.

2015 වසර ඇතුළත ළමුන් 10,000කට අධික පිරිසක් දූෂණයට ලක්වී තිබේ.

ඉන්දියාවේ කාන්තාවන් මිලියන 240ක් විවාහ වී ඇත්තේ වයස අවුරුදු 18 පිරීමට පෙර ය.

ඉන්දීය රජය මගින් සිදු කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇත්තේ ඊට සහභාගී වූ ළමුන්ගෙන් 53.22%ක් කිසියම් හෝ අපයෝජනයකට ලක්වී ඇති බවය.

මෙම ළමුන්ගෙන් 50%ක් පමණ අපයෝජනයට බඳුන් වී ඇත්තේ පවුලේ විශ්වාසවන්තයන් අතින් හෝ එම දරුවන් රැකබලාගත් අය අතිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර