පාකිස්තාන අගමැති ධුරය සඳහා ෂරීෆ්ගේ සහෝදරයා සූදානමින්

Image copyright Reuters
Image caption අගමැති ධුරය භාර ගැනීමට පෙර ෂබාස් ෂරීෆ් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගත යුතුය

පාකිස්තානයේ අගමැති ධුරයෙන් ඉවත් වූ නවාස් ෂරීෆ්ගේ සහෝදරයා එම ධුරය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

පාලක පාකිස්තාන් මුස්ලිම් ලීග්-නවාස් පක්ෂය විසින් අගමැති ධුරය සඳහා ෂබාස් ෂරීෆ් තෝරා ගනු ලැබ ඇත.

නමුත් එම ධුරය භාර ගැනීමට පෙර ඔහු පළමුව පාර්ලිමේන්තු සාමාජිකයෙකු වශයෙන් තේරී පත් විය යුතුය.

ඛනිජ තෙල් අමාත්‍යංශය භාරව කටයුතු කළ ෂහිඩ් ඛාකන් අබ්බාසි දැනට අන්තර්වාර අගමැතිවරයා වශයෙන් කටයුතු කරනු ඇත.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුව හිටපු අගමැති නවාස් ෂරීෆ් එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා (ජුලි 28) තීන්දු කළේය.

ඒ අනුව ඔහු අගමැති ධුරයෙන් ඉවත් විය.

Image copyright Getty Images
Image caption හිටපු අගමැති නවාස් ෂරීෆ්

හිටපු අගමැතිවරයාගේ පවුලේ වත්කම් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කෙරුණේ ඔහුගේ දරුවන් හා විදේශීය සමාගම් අතර සබඳතා පැවති බව පැනමා ලිපිගොනුවලින් අනාවරණය වීමෙන් පසුවය.

සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් දේපළ මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කරයි.

පාකිස්තානයේ විපක්ෂය නියෝජනය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ බලගතු දේශපාලනඥයන් පවා නීතියෙන් ඔබ්බට යා නොහැකි බවට අදාළ තීන්දුවෙන් පැහැදිලි සංඥාවක් දුන් බවය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර