පකිස්තාන් අගමැති පදවිය අයියාගෙන් මල්ලීට?

Image copyright Reuters
Image caption ෂාබාෂ් ෂරීෆ්ට අගමැති වීමටනම් පළමුව පාර්ලිමේන්තුවට පිවිසිය යුතව ඇත

පුරප්පාඩු වී ඇති පකිස්තානයේ අගමැති පදවිය සඳහා බලයෙන් පහ කෙරුණ අගමැති නවාෂ් ෂරීෆ්ගේ සහෝදරයා ඉදිරිපත් වෙන හැඩක් පවතී.

පකිස්තානයේ පාලක මුස්ලිම් සංගමය (PML-N) හිටපු අගමැතිවරයාගේ සහෝදරයා වන ෂාබාෂ් ෂරීෆ් නව අගමැතිවරයා හැටියට යෝජනා කරනු ලැබ ඇතත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවේ.

එබැවින් අගමැති පදවියට පත්වීමට නම් ඔහු පකිස්තාන් ජාතික මණ්ඩලයේ අසුනකට තරඟ කොට අතුරු මැතිවරණයක් මගින් පාර්ලිමේන්තුවට පිවිසිය යුතුව ඇත.

දැනට හැටපස් වෙනි වියේ පසුවෙන ෂාබාෂ් ෂරීෆ් දැනට පංජාබ් ප්‍රාන්තයේ මහඇමතිවරයා වෙයි.

පාකිස්තාන් ඛනිජ තෙල් කටයුතු භාර හිටපු ඇමති ෂාහිඩ් කාකාන් අබ්බාසි මේවනවිට වැඩබලන අගමැතිවරයා ලෙස කටයුතු කරයි.

දූෂණ චෝදනා පිළිබඳව සිදු කරන ලද අධිකරණ විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව හිටපු අගමැති නවාශ් ෂරීෆ්ට අගමැති පදවිය අහිමි විය.

Image copyright Reuters
Image caption වැඩ බලන අගමැතිවරයා - ෂාහිඩ් කාකාන් අබ්බාසි

නවාෂ් ෂරීෆ්ගේ දරුවන් හා විදේශීය සමාගම් අතර සබඳතා පැවති බව පැනමා ලිපිගොනු වලින් අනාවරණය වීමත් සමග ඔහුගේ පවුලේ වත්කම් පිළිබඳ පරීක්ෂණ ආරම්භ විය.

හිටපු අගමැති ෂරීෆ් අදාළ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

ඔහුට පදවිය අහිමි කෙරුණ අධිකරණ තීන්දුව දෙන ලද්දේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් විසිනි.

සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් ලන්ඩන් නුවර නිවාස මිල දී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර