ජනාධිපති උදහසට ලක් නගරාධිපතිට මරණය

Image copyright Reuters
Image caption ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ දුටාර්ටේ ගේ විවේචනයට ලක්වෙමින් සිටි නගරාධිපතිවරයෙක් මරා දමනු ලැබ ඇත.

මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නිරත වෙතැයි පවසමින් ජනාධිපතිවරයාගේ උදහසට ලක්ව සිටි නගරාධිපතිවරයා මරා දමනු ලැබ තිබෙන්නේ පොලිසිය ඔහුගේ නිවසට කඩා පැනීමක දී බවත් වාර්තා වෙයි.

දකුණු පිලිපීනයේ Ozamiz නගරයේ පුරපතිවරයා, ඔහුගේ බිරිඳ සහ තවත් දහදෙනෙක් අද (30) උදෑසන සිදු වූ එම පොලිස් මෙහෙයුමේ දී වෙඩි තබා මරා දමනු ලැබ ඇති බව පිලිපීනයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

ප්‍රචණ්ඩ තත්වයක් මතුවෙන විට එම කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනු ලැබ තිබුණ බව පිලිපීන පොලිසිය පවසයි.

Image copyright EPA
Image caption දුටර්ටේ බලයට පත්වුණේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලන බවට ප්‍රතිඥාවක් දෙමිනි

මෙයින් අවුරුද්දකට පමණ පෙර ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ බලයට පත්වීමෙන් අනතුරුව පොලිස් කඩා පැනීම් හෝ නිල නොවන කල්ලිවල ප්‍රහාර මගින් මේවනවිට නව දහසකට ආසන්න ජනතාව මරා දමනු ලැබ ඇත.

දුටාර්ටේ බලයට පත්වුණේ පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරන බවට මැතිවරණ පොරොන්දුවක් දෙමිනි.

පිලිපීනයේ නගරාධිපතිවරයකුව සිටි කාලයේ තමා අපරාධ වලට හවුල් සැකකරුවන් සියතින්ම මරා දැමූ බව ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ වරක් ප්‍රකාශ කළේය.

එහෙත් එලෙස මිනීමැරුම් සිදු කළ බව ඔහු විසින්ම තවත් වරක ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා දැමීමට තමා පුරුදුව සිටියේ පොලීසියටද එලෙස කළ හැකි බව පෙන්වීම සඳහා බව තවත් වරක් මොහු මැනිලා නුවරදී ව්‍යාපාරිකයන් පිරිසක් අමතමින් කියා සිටියේය.