ඉරාක තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Pictures on social media show black plumes of smoke rising into the sky Image copyright Reuters
Image caption කළු දුමාරය කාබුල් අගනුවර අහසට විහිදෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි

කාබුල් අගනුවර ඉරාක තානාපති කාර්යාලය අසල එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අනතුරුව ඇෆ්ඝනිස්තානයේ ආරක්ෂක හමුදා සහ සන්නද්ධ කැරලිකරුවන් අතර වෙඩි හුවමාරුවක් හට ගත්තේය.

බැග්ඩෑඩ් අගනුවර මධ්‍යයේ පිහිටි ශාර් ඒ නව් ප්‍රදේශයේ (Shar-e-Naw) ඉරාක තානාපති කාර්යාලය අසලදී මරාගෙන මැරෙන ප්‍රහාරකයා සිය බෝම්බය පුපුරුවාගත් අතර, ඉන් අනතුරුව ප්‍රහාරකයන් තිදෙනෙකු තානාපති කාර්යාල සංකීර්ණයට ඇතුළු වූ බව ඇෆ්ඝනිස්තානයේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසයි.

සියලු ප්‍රහාරකයන් මරා දමා තානාපති කාර්යාලය වැටලීම නිමා කරන ලද බව අමාත්‍යාංශය පවසන නමුත් තවදුරටත් වෙඩි හඬ ඇසෙන බව වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කළ බව අයිඑස් ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය භාරගෙන තිබේ.

අයිඑස් හෝ තාලිබාන් සංවිධානය විසින් එල්ල කරන ලදැයි සැලකෙන ප්‍රහාර මාලාවක් මේ වසර පුරාම කාබුල් නුවරට එල්ල විය.

නගරයේ ඉරාක තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම වතාව මෙය බව වාර්තාකාරුවෝ පවසති.

මෙම ප්‍රහාරය එල්ල වූයේ මෝසුල් නුවරින් අයිඑස් සංවිධානය පලවා හැරීම සැමරීම පිණිස ඉරාක තානාපති කාර්යාලය විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමෙන් සති දෙකකට පසුවය.

තානාපති කාර්යාලය අසලින් කළු දුමාරය කාබුල් අගනුවර අහසට විහිදෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හෝ මරුමුවට පත්වූවන් පිළිබඳව සම්පූර්ණ වාර්තා ලැබී නැත. එක ඇෆ්ගන් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ අතර, තානාපති කාර්යාලයේ සියලුම නිලධාරීන් ආරක්ෂා සහිතව ඉවත්කර ගන්නා ලද බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පැවසීය.

ඇෆ්ඝනිස්තානයේ මේ අලුත්ම ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ඝන් හමුදාවට සහ පොලිසියට ආධාර පිණිස එහි රඳවා සිටින ඇමෙරිකානු හමුදා භටයන් සංඛ්‍යාව ඉහළ දැමිය යුතු දැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින මොහොතකය.

සබැඳි විෂයයන්