බාල වයසේ විවාහවලින් 46% ක්ම දකුණු ආසියාවෙන්

Image copyright Graham crouch
Image caption විවාහයේ අභියෝගයට මුහුණදීමේ සූදානමින්

බංග්ලාදේශයෙන් ළමා විවාහ තුරන් කර දැමීමේ ජාතික ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ ඇත.

කලින් පැවති තත්වය සමඟ සාපේක්ෂව බලන විට බංග්ලාදේශයේ ළමා විවාහ දර්ශකයේ අඩුවක් පෙන්නුම් කෙරුණත් එය දකුණු ආසියාවේ ළමා විවාහ වැඩියෙන්ම වාර්තා වෙන රටයි.

එම සමාජමය ප්‍රශ්නය අවසන් කිරීමේ අරමුණින් දියත් කෙරෙන ජාතික ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මගිනි.

එම ව්‍යාපෘතිය මගින් ගෙනයන පණිවුඩය ගුවන්විදුලි හෝ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ පමණක් නොව ඩිජිටල් තාක්ෂණය ඔස්සේත් රටපුරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබ ඇත.

එසේම එම ව්‍යාපෘතිය යොවුන් දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අතර අන්‍යෝන්‍ය වශයෙන් අන්තර් ක්‍රියාකාරිත්වයක් සම්බන්ධීකරණය කෙරෙන වැඩපිළිවෙලක් ද වෙයි.

මෙම අවුරුද්ද මුලදී බංග්ලාදේශ් පාර්ලිමේන්තුව රට තුළ මහත් විවාදයකට ලක් වූ නීතියක් සම්මත කරමින් ළමා විවාහ සීමා කිරීමට මුලපුරා ඇත.

එම නීතිය අනුව වයස අවුරුදු දහ අටට අඩු දැරියකට විවාහ විය හැක්කේ සුවිශේෂී තත්වයන් යටතේ පමණි.

එවැනි විවාහයක් සඳහා දෙමව්පියන්ගෙන් මෙන්ම උසාවියකින් ද අවසර ලබා ගත යුතුව ඇත.

Image caption බාල වයසේ මනමාලියක් - බංග්ලාදේශ් දැරියක්

බංග්ලාදේශයෙන් ලැබෙන වාර්තාවලට අනුව ඇතැම්විට දෙමව්පියන් වයස අවුරුදු දහ අටට ඔවුන්ගේ අඩු දැරියක් විවාහ කර දීමට තැත් කරන්නේ නම්, දෙමව්පියන්ගේ එම තීන්දුවට එරෙහිව ක්‍රියා කිරීමට අද පරපුරේ ඇතැම් යොවුන් දැරියන් දැනුවත් භාවයක් ලැබ සිටිති.

කෙසේවුවද, දකුණු ආසියානු රටවල ළමා විවාහ අඩුවීමේ ප්‍රවණතාවක් ඇතත් එය සිදු වෙන්නේ මන්දගාමී ආකාරයකටයි.

කලින් පැවති තත්වයේ වෙනසක් පෙන්නුම් කරමින් අද බංගලාදේශයේ ළමා විවාහ අනුපාතය 50% කට මඳක් අඩුව ඇති බව අලුත්ම සංඛ්‍යා දත්ත තොරතුරු මගින් පෙන්නුම් කෙරෙයි.

බංගලාදේශ් නීතිය අනුව විවාහ වියහැකි වයස පිරිමියකුට අවුරුදු 21 ක් වන අතර කාන්තාවක් වයස අවුරුදු 18 සම්පූර්ණ කළ යුතු වෙයි.

එක්තරා කාල වකවානුවක බංග්ලාදේශයේ දැරියන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් වයස අවුරුදු 15 ටත් පෙර විවාහ කෙරෙන තත්වයක් පැවතුනි.

බාල වයස්කරුවන්ගේ විවාහ නිසා සිදු වෙන පළමු සමාජමය ප්‍රශ්නය ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමයි.

ඒ සමඟම දරුවන්ගේ සමාජමය අන්තර් ක්‍රියාකාරිත්වය ද සීමා වෙයි.

'යුනිසෙෆ්' වාර්තාවන්ට අනුව බාල වයසේ විවාහ නිසා ගැහැණු දරුවන් කල් තබාම පාසල් අධ්‍යාපනයෙන් සමු ගන්නා අතර ද්විතීයික අධ්‍යාපනය සඳහා ඔවුන්ගෙන් ඉතිරි වන්නේ අල්පයක් පමණි.

Image copyright Science Photo Library
Image caption ඔවුන් විවාහය හඳුනන්නේද ?

බාල වයසේ විවාහයත් සමඟ අලුත් මනමාලියන් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ කුටුම්භයේ මෙහෙකාරියකගේ තත්වයට පත්වීමත් සුලභ වාර්තාවකි.

දැරියකගේ කල් තබා සිදු කෙරෙන විවාහයේ තවත් පලයක් වන්නේ කල් තබා ගැබ් ගැනීමයි.

වයස අවුරුදු 15-19 අතර යොවුන් මව්වරුන් නිසි වයස සම්පූර්ණ ව විදැහූ වෙන මව් වරුන්ට වඩා ප්‍රශූතියේ දී පීඩා විඳිති.

බංග්ලාදේශ් සමාජයේ දැරියක් බාල වයසේදීම විවාහ කර දීමට ඇතැම් දෙමව්පියන් යොමු වීමට හේතුවක් හැටියට බාල දියණිවරුන් සඳහා දෙනු ලබන දැවැද්ද අඩු වීමත් ඒක කරුණක් ලෙස දැක්වෙයි.

සමස්තයක් වශයෙන් ගත්විට , ලෝකයේ එම කලාපයේ දැරියන්ගෙන් 46% ක්ම වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට විවාහ කර දෙති. නැත්නම් විවාහ වෙති.

දකුණු ආසියානු කලාපයේ බාල වයසේ විවාහ නතර කිරීම ඉලක්ක කරගත් කලාපීය සමුළුවක් ( (SAIEVAC) 2016 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුනි.

'සාර්ක්' සංවිධානයට අයත් රටවල් හයක ඉහල මට්ටමේ සහ සිවිල් සංවිධානවල නියෝජිතයෝ ඊට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ කාන්තාවකට නීතිය අනුව විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 ක් වෙයි.

Image caption බාල වයසින් විවාහකර දුන් ශ්‍රී ලංකා දැරියකගේ මවක් බීබීසියට අදහස් දක්වමින්

එහෙත් රට තුළ එක් ජන කොටසකට බල පැවැත්වෙන සුවිශේෂී ප්‍රජා නීතියක් වන මුස්ලිම් නීතිය අනුව එම වයසට අඩු දැරියකට විවාහ වීමට අවසර ලැබෙයි.

එහෙත් එම නීතියේ වෙනසක් සිදු කරන මෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇත.

ශ්‍රී ලාංකික ග්‍රාමීය සමාජයේ බාල වයස් විවාහය කලක් බහුල වශයෙන් දක්නට ලැබුණි.