රුසියාව සහ ඇමෙරිකාව යුද බලය පෙන්නයි: තවත් සීතල යුද්ධයක්ද ?

  • 2017 අගෝස්තු 1
Image copyright Getty Images

රුසියාවෙන් බෝල්ටික් රාජ්‍යයකට එරෙහිව එල්ල කෙරෙන ඕනෑම ආකාරයක ආක්‍රමණයක දී එම රටවල ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වෙන බව ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් (Mike Pence) යළිත් වරක් සපථ කළේය.

එක්සත් ජනපද උප ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ, ඇමෙරිකානු තානාපති නිලධාරීන් සිය ගණනකට රටින් පිටව යන මෙන් ජනාධිපති ව්ලදිමීර් පූතින් නියෝග කිරීමෙන් අනතුරුවයි.

බෝල්ටික් කලාපයට පැමිණි උප ජනාධිපති මයික් පෙන්ස්, එස්තෝනියාවේ දී 'නේටෝ' යුද සගයන් අමතමින් "අප අතරින් එක් අයකුට එල්ල කරන ප්‍රහාරයක් අප සියලු දෙනාට එල්ල කරන ලද පොදු ප්‍රහාරයක් හැටියට සලකන" බව කියා සිටියේය.

තමන්ට ඇති ප්‍රධාන තර්ජනය හැටියට ඔහු පෙන්වා දුන්නේ රුසියාවයි.

ඇමෙරිකාව විසින් පසුගියදා රුසියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීමට පියවර ගනු ලැබීමෙන් අනතුරුව, ඒ සඳහා ප්‍රති පියවර ගත් ක්‍රෙම්ලිනය ඇමෙරිකානු තානාපති නිලධාරීන් 755 දෙනකු සැප්තැම්බර් මාසය වනවිට රටින්පිටව යායුතු යයි නියෝග කළේය.

2014 වසරේ දී රුසියාව කළු මුහුද ආසන්නයේ පිහිටි ක්‍රිමියාව සිය පාලනය යටතට ගත් අවස්ථාවේ එක්සත් ජනපදය ඊට එරෙහිව සම්බාධක පනවා තිබුණ අතර, අලුතින් තවත් සම්බාධක ප්‍රකාශයට පත් කළේ මොස්කව් පාලනය ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඇඟිලි ගසන ලද බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙනයි.

සෝවියට් සමූහාණ්ඩුව

Image copyright Reuters
Image caption මිතුරු සංවාදය සීතල ගැටුමකට හැරෙමින්

එහෙත් තමන් ඇමෙරිකානු ජනාධිපතිවරණයට කිසිදු ආකාරයකින් මැදිහත් වී නැති බව රුසියාව දිගින් දිගටම අවධාරණය කරයි.

කලින් සෝවියට් සමූහාණ්ඩු ලෙස පැවති එස්තෝනියා -ලිතුවේනියා සහ ලත්වියා යන බෝල්ටික් රාජ්‍යයන් තුන ස්වාධීන රාජ්‍යයන් බවට පත් වුණේ සෝවියට් සංගමය කඩා වැටීමත් සමඟයි.

ඉන් අනතුරුව යුක්‍රේන් අර්බුදයට රුසියාව මැදිහත්වීම සහ ක්‍රිමියාව මොස්කව් පාලනය යටතට ගනු ලැබීමත් සමඟ එම බෝල්ටික් රටවල් තුන 'නේටෝ' රැකවරණය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරති.

ඒ අනුව බෝල්ටික් රාජ්‍යයන් තුනේ නායකයන් සමඟ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව ප්‍රකාශයක් කළ උප ජනාධිපති මයික් පෙන්ස් "අපි ඔබ සමඟයි" යනුවෙන් බෝල්ටික් රටවලට සහතික වුණේය.

"ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය අපගේ 'ආර්ටිකල් 05' ප්‍රතිඥාව අනුව ඔබේ රැකවරණය වෙනුවෙන් ස්ථිරසාර ලෙස පෙනී සිටිනවා. මෙයින් අවුරුදු විසි පහකට පෙර සිදු වූ කොමියුනිස්ට්වාදය කඩා වැටීමෙන් පසු ශක්තිමත් ,එක්සත් නේටෝවක උවමනාව වෙනදාට වඩා අද අවශ්‍ය වී තිබෙනවා" උප ජනාධිපති මයික් පෙන්ස් එස්තෝනියාවේ තලින් (Tallinn)අගනුවර දී කියා සිටියේය.

මහා යුද සරඹයක්

Image caption පූතින් පීටර්ස්බර්ග්හි රුසියානු නාවික බලය ප්‍රදර්ශනය කරමින්

මේ අතර රුසියාව සිය මිතුරු බෙල රුසියාවේ ද සහභාගිත්වයෙන් සැප්තැම්බරයේ මහා යුද සරඹයක් සඳහා සැරසෙමින් සිටියි.

ජනාධිපති පූතින් ඇමෙරිකානු තානාපති නිලධාරීන් 755ක් නෙරපා හැරීමට ගත් තීන්දුවත් සමඟ මොස්කව් සහ වොෂින්ටනය අතර අලුත් ආකාරයේ සම්බන්ධතාවයක් සඳහා ඉඩක් නොමැති තත්වයක් දැන් උද්ගත වෙමින් පවතී.

සිය තානාපති නිලධාරීන් සිය ගණනක් නෙරපා හැරීමට ජනාධිපති පූතින් ගත් තීන්දුව අසාධාරණ එසේම කනගාටුදායක සිද්ධියක් යයි වොෂිංටනය ප්‍රකාශ කර ඇත.

එසේම එම තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කළ යුත්තේ කෙසේදැයි සලකා බලමින් සිටින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ප්‍රකාශයක් කරන රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමති සෙර්ගේයි රියාබ්කොෆ්, ඇමෙරිකාවට එරෙහිව තවත් පිළිතුරු ක්‍රියාමාර්ග නොගන්නේයයි කිව නොහැකි බව සඳහන් කර ඇත.

Image caption බෝල්ටික් කලාපය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර