ගේ බින්ඳ හොරා ගෙය ඇතුළෙම නිදි

  • 2017 අගෝස්තු 1
Image copyright Reuters
Image caption නින්දේ සිටි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

නිවෙසකට හොරෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට එම නිවස තුළම නින්ද යාමේ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

මෙම පුද්ගලයා එම නිවසේ තිබූ මත්පැන් බෝතලයක් ගෙන පානය කිරීමෙන් අනතුරුව නිවසේ හිමිකාරියගේ ඇඳ මත නින්දට වැටී ඇත.

ගෙහිමි කාන්තාව නිවසට පැමිණි අවස්ථාවේ තම නිදන කාමරයේ ඇඳ මත සොරෙකු නිදා සිටින බව දුටුවාය.

අනතුරුව ඇය වහාම නිවසින් පිටතට පැමිණ සිය ජංගම දුරකතනයෙන් පොලිසිය අමතා සිද්ධිය විස්තර කර තිබේ.

පොලිසිය නිවසට පැමිණෙන විටත් 36 හැවිරිදි මෙම පුද්ගලයා ගෙහිමි කාන්තාවගේ යහන මත සුව නින්දක සිට ඇත.

Image copyright ESPERANCE POLICE
Image caption "ඉතා වටිනා ෂැම්පේන් බෝතලයක්"

පොලිසිය ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා නිවසේ තිබූ "ඉතා වටිනා ෂැම්පේන් බෝතලයක්" විවෘත කර පානය කරමින් සිටියදී නින්දට වැටී ඇති බව ය.

නින්දේ සිටි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අවස්ථාවේ දී ඔහු "ඉතා බීමත්ව" සිටි බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයා බීමතින් සිටි හෙයින් ඔහු රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ගෙවල් බිඳීමේ චෝදනා මත, පොලිසිය විසින් මෙම පුද්ගලයාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්