බස් එපා, කාර් එපා ඊට වැඩිය ගඟ හොඳයි !

  • 2017 අගෝස්තු 4
"වැඩට යන්නේ පීනාගෙන"

රථවාහන තදබදයේ පීඩනය මගහැරීමට අලුත් ක්‍රමයක් සොයගත්තෙකු පිළිබඳව ජර්මනියෙන් වාර්තාවේ.

එරට මියුනික් හි වෙසෙන බෙන්ජමින් ඩේවිඩ් දිනපතා සිය සේවා ස්ථානයට යන්නට තෝරාගත්තේ ප්‍රදේශය හරහා ගලන ගංගාවය.

එහෙත්, එහි යාත්‍රාවක නැගී නොව පිහිනීමෙනි.

"මම වැඩට යන්නේ කාර් එකේවත්, බස් එකේවත් නෙවෙයි" යැයි පවසන බෙන්ජමින් දිනපතා උදෑසන ඊසාර් ගඟේ කිලෝමීටර 2ක් දුරක් පිහිනා ගොස් සිය සේවා ස්ථානයට වාර්තා කරයි.

"ඊසාර් ගඟ පසෙකින් ඇදෙන මාර්ගයේ රථවාහන තදබදය සුළුපටු නැහැ. පීනලා යන එක මට ගොඩක් ඉක්මන්. ඒ වගේම හරිම සැහැල්ලුවක්" බව කියන ඔහු මේ ගමන සඳහා භාවිත කරන විශේෂ දෙයක් ගැන පැහැදිලි කළේ මෙසේයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"වැඩට යන්නේ පීනාගෙන"

"මා ළඟ අපූරු දෙයක් තියෙනවා. ඒක හොයාගත්තේ බාසෙල්වල නිර්මාණකරුවෙක්. මම වගේම ඔහුත් ඔහුගෙන් ඇහුවේ එකම ප්‍රශ්නයක්. පීනලා යද්දී, රැගෙන යාමට අවශ්‍ය කළමනා වියළි ලෙස තබාගන්නේ කොහොමද කියලයි."

"වතුරට ඔරොත්තු දෙන මේ මඩිස්සලේ ඕන දේවල් බහාලන්න පුළුවන්. ඒක ගැටගැහුවම වායුවෙන් පිරිලා බෝයාවක් වගේ වෙනවා. එතකොට පාවෙන්න පුළුවන්."

ඇල්ප්ස් කඳුවල සිට ගලා එන ඊසාර් ගඟේ උෂ්ණත්වය ග්‍රීෂ්ම ඍතුවේදී සෙල්සියස් අංශක 14ත් 22ත් අතර වන බව පවසන බෙන්ජමින් ජලයේ උෂ්ණත්වයට ගැලපෙන ලෙස අවශ්‍ය ඇඳුමක් පිහිනීම සඳහා භාවිත කරන බව පෙන්වා දුන්නේය.

වසර 150 ට අධික කාලයක් ඊසාර් නදිය ගමනාගමනයට භාවිත කළ අතර එය තමන්ට මේ අලුත් අදහස ගෙන ඒමට හේතු වූ බව බෙන්ජමින් කීය.

"රෝමය හා වියෙනා අතර වැදගත් ගමනාගමන මාර්ග අතරින් එකක් හැටියට මේක හඳුන්වනවා ඊසාර් දිගේ ඔරු පැද ගියත් පහුගිය අවුරුදු 100 තුළ එය අතුරුදන්ව ගියා. ගමනාගමනයට කවුරුවත් ඊසාර් ගඟ පාවිච්චි කරන්නේ නැහැ. ඒත් දැන් මම ඒ තැන අරගෙන."

" තවත් අවුරුදු කිහිපයකින් උදේ වැඩට යන මාර්ගයක් හැටියට ඊසාර් ගඟ පාවිච්චි කරන්න තවත් අය පෙළඹුනොත් ඒක මට පුදුමයක් නෙවෙයි" යැයි බෙන්ජමින් වැඩිදුරටත් පැවසීය.