ඒයි! මේ ඇහුනද? ළමයින්ගේ තාත්තේ !

  • 2017 අගෝස්තු 6
Image caption ඉන්දියානු කුටුම්භයක් -ප්‍රධානියා ළමයින්ගේ තාත්තා

ඉන්දියාවේ කෝටි ගණනක් කාන්තාවන් තම ස්වාමි පුරුෂයන්ට කිසිදාක ඔවුන්ගේ නමින් අමතන්නේ නැති බව සමීක්ෂණයක් මගින් හෙළිදරව් වී ඇත.

ඊට හේතුව කාන්තාවන් සිය ස්වාමි පුරුෂයන් සඳහා දක්වන ගරුත්වයයි.

මේවනවිට නාගරික ප්‍රදේශවල යම්කිසි වෙනසක් සිදුව ඇතත් ග්‍රාමීය ඉන්දියාවේ අදත් පවතින තත්වය එයයි.

එම පුරුද්ද අත්හැර දමමින් සිය සැමියන් ඔවුන්ගේ නමින් අමතන ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින සමාජ ක්‍රියාධරයන් පිළිබඳව වාර්තා වෙන බව බීබීසී දිල්ලි කාර්යාලයේ ගීතා පාන්ඩේ (Geeta Pandey ) පවසයි.

"මගේ දෙමව්පියන් විවාහ වෙන විට අම්මාට වයස අවුරුදු එකොළහටත් අඩුයි. තාත්තාට අවුරුදු පහළොවයි.දැන් ඔවුන්ගේ විවාහ ජීවිතයට අවරුදු 73 ක් වෙනවා.මගේ අම්මා තාත්තාට නමින් කතා කරනු මට කවදාවත් ඇහිලා නැහැ" ගීතා පාන්ඩේ සඳහන් කරයි.

සිය මව තමන් සමඟ පියා පිළිබඳව සඳහන් කරද්දී "බාබුජී" යනුවෙන් ඔහු නම්කළ බවත් ඇය සිහිපත් කරයි.

"අම්මා හැමවිටම තාත්තාට කතා කළේ 'ඒයි' එහෙමත් නැත්නම් 'ඒයි මෙයා" වැනි යෙදුම් මගිනුයි"

අපි තරුණ වියට පැමිණෙද්දී තාත්තාට නමින් ඇමතීම සඳහා අම්මා පොළඹවා ගැනීමට උත්සාහ කළත් එය පල රහිත වූ බව ගීතා පාන්ඩේ පවසන්නීය.

"අපේ අම්මා විතරක් නොවෙයි,අපේ ගෙදර ගෑනුත් ,අපි අවට ගෑනුත් කවදාවත් ස්වාමි පුරුෂයන්ට නම කියල කතා කෙරුවේ නැහැ.ඒ පුරුද්දට ජාතියක් -කුලයක්- ආගමක් බල පෑවේ නැහැ.කවුරුත් ගෑනු සැමියන් ඇමතුවේ වෙනත් විධියේ යෙදුම් මගින්"

"ස්වාමි පුරුෂයා දෙවියන්ට සමාන හෙයින් ඔහුට වැඳුම් පිදුම් කළ යුතුය කියන මතයකුත් තිබුණා."සමාජ මානව විද්‍යාඥවරියක වන ආර්.වාසවී ලියා තබයි.

Image caption සැමියාට ඔහුගේ නමින් ඇමතීමට මනාප ඉන්දියානු කාන්තාවක්

සැමියා දෙවියකුට සමාන කරන ගතානුගතිකවාදී ඉන්දීය සමාජය ගැහැණු දරුවන් සැමියන්ට ගරු සත්කාර කළ යුතු බව උගන්වන්නේ කුඩා අවධියේ පටන්ය.

සැමියා ඔහුගේ නමින් ඇමතීම අවාසනාව ගෙන එන අතරම එසේ කළොත් ඔහුගේ ජීවිත කාලය කෙටි වීමටත් එය හේතු වෙන බව පැවසෙන මතවාදයක් ග්‍රාමීය ඉන්දියාවේ වපුරා ඇත.

එම පුරුද්ද කඩ කළොත් කාන්තාවකට භුක්ති විඳීමට ලැබෙන ප්‍රතිවිපාකයත් ඉතා දරුණු වූවකි.

සැමියා ඔහුගේ නමින් සඳහන් කළ ඔරිස්සාවේ කාන්තාවක් දරුණු පළිගැනීමකට ලක් වූවාය.

"එක දවසක් මගේ නෑනා මගෙන් ඇහුව කවුද ගෙදර ඉස්සරහ පැත්තේ වාඩිවෙලා ඉන්නේ කියල. මගේ සැමියාගේ මාමාත් එතැන හිටිය. මම ඒ ඔක්කොගෙම නම් ටික කිව්වා" මලති මහතෝ (Malati Mahato) නම් කාන්තාව මේ මාතෘකාව සංවාදයකට ලක් කරන වීඩියෝ සමාජයකට සඳහන් කළාය.

ඊළඟට සිදු වුණේ කුමක්ද?

මලතිගේ නෑනා මලති සිදු කළ 'වරද' ගමේ ගම්සභාවට පැමිණිලි කළාය. ඒ අනුව මලති මහතෝට තරවටු කෙරුණ අතර ඇය සහ දරුවන් ගමේ කෙළවරක පිහිටි නිවසකට පළවා හරිනු ලැබුණි.

දඬුවම එතැනින් කෙළවර නොවුණි.

ගම්වැසියන් විසින් මාස දහ අටක කාලයක් ඇය කොන් කරනු ලැබුණි.

"පුරුශාධිපති උරුමය මට්ටම් කීපයකින් ක්‍රියාත්මක වෙනවා"ඒ.ආර්.වාසවී සමාජ මානව විද්‍යාඥවරිය පෙන්වා දෙයි.

"සැමියා බිරිඳගේ දෙවියාට සමාන කරනවා. ඒ නිසා ඔහුට ගරු සත්කාර කළ යුතුයි. සාම්ප්‍රධායික විවාහක පවුලක ස්වාමි පුරුෂයා ඉහල යයි සම්මත කුලයකට අයත් ඒ වගේම ආර්ථික අතින් බිරිඳට උදව් වෙන තැනැත්තෙක්. ඒ නිසා ඔහු හඳුන්වන්නේ "යජ්මන්"( yajman) කියන වචනයෙන් එහි තේරුම "අයිතිකාරයා" (owner)කියන එකයි. ඒ වගේම ඔහු ටිකක් වයසක කෙනෙක්. මේ ඔක්කොම හේතු නිසා ඔහුට ගරුකළ යුතු වෙනවා" ඒ.ආර්.වාසවී විස්තර කරයි.

Image copyright VIDEO VOLUNTEERS
Image caption කාන්තා හමුවක සාමාජිකාවන්

ඉන්දීය කාන්තාවන් ස්වාමි පුරුෂයන්ට අමතන ආකාරයන් කීපයක්;

" ළමයින්ගේ තාත්තේ" ( ශ්‍රී ලංකාවේ නම් 'ළමයින්ගේ තාත්තේ' හෝ 'ළමයින්ගේ අප්පච්චි'!)

ඇතැම් ඉන්දීය කාන්තාවන් සිය ස්වාමි පුරුෂයන්ගේ රැකියාව අනුවත් ඔහු ඇමතීමට පුරුදුව සිටිති.

"ඩොක්ටර් ෂාහිබ්!" (ෂාහිබ් යනු නමක් නොව ගෞරව වචනයකි )

නීතිඥයකුගේ බිරිඳක් සිය සැමියාට ගෞරව පූර්වකව මෙසේ ආමන්ත්‍රණය කිරීමට ඉඩකඩ ඇත.

"වකීල් ෂාහිබ්!"

එතරම තවත් කාන්තාවෝ මෙසේත් ආමන්ත්‍රණය කරති.

"ඒයි!", "මේ ඇහුනද?" , "මෙයා!", "මේ අහන්නකො!", "ඇහුනද?" ආදී වශයෙනි.

ඉන්දියාවේ තවත් සමාජක කාන්තාවක් සිය සැමියාට "අයියේ!" කියා ඇමතීමට ඉඩකඩ ඇත.

තවත් කාන්තාවකට සිය සැමියා "ලොකු අය්යා" වෙයි.

"හලෝ!" කියා සැමියන් අමතන කාන්තාවෝද සිටිති.

" අයිතිකාරයා" (OWNER) තවත් ඇමතුමකි .

පීතෘමූලික ඉන්දියානු සමාජයේ කාන්තාවන් විසින් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් අමතන සම්ප්‍රදායේ වෙනසක් ඇති කිරීම සඳහා ස්වේච්ඡා සංවිධාන කීපයක් ග්‍රාමීය ප්‍රජා කණ්ඩායම් අතර කටයුතු කරමින් සිටිති.

Image caption ඉන්දියානු කුටුම්භයක්

බටහිර ඉන්දියාවේ 'පූනා' නගරය අසල ගමක සමාජ සේවිකාවක් වන රෝහිනී පවර් (Rohini Pawar) ගමේ කාන්තාවන් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ට අමතන ආකාරය වෙනස් කිරීමට අදාළ ප්‍රශ්නය සියගමේ කාන්තා හමුවකදී මතු කිරීමට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අදහස් කළාය.

යෝජනාව ගමේ කාන්තාවන්ට ඉදිරිපත් කරනු ලැබීමට පෙර සිය නිවසේදී එය අත්හදා බැලීම රෝහිනී තීරණය කළාය.

රෝහිනී සහ ප්‍රකාශ් විවාහ වී දාසය අවුරුද්දක් ගත වී ඇතත්,ඇය අවුරුදු පහළොවක්ම සිය සැමියාට "ප්‍රකාශ් !" කියා ඔහුගේ නමින් අමතා නැත.

" මම මුලදී ඔහුට කතා කෙරුවේ 'බාබා' කියල. මොකද? ප්‍රකාශ්ගේ බෑණා ඔහුට කතා කළේ 'බාබා' කියල. ඒ වගේම මරාති භාෂාව කතා කරන ජනතාව අනුන්ගේ අවධානය ලබා ගන්න අවශ්‍ය වුනාම යොදා ගන්න වචනය වන 'ආහෝ' කියලත් මම ප්‍රකාශ්ට කතා කෙරුව" රෝහිනී සිය අත්දැකීම බීබීසියට විස්තර කළාය.

දැන් රෝහිනී සිය සැමියාට 'ප්‍රකාශ්' කියා ආමන්ත්‍රණය කරන්නීය. ප්‍රකාශ් ගෙන් විරෝධයක් ද නැත. එහෙත් ගමේ ජනතාට ඊට සතුටු නැත.

ඇතැම්හු ඇයට විහිළු කරති.

දැනුවත් කිරීමෙන් පසු ගමේ කාන්තාවන් අතර මේ වෙනස පිළිබඳව සතුටක් ඇති බවත් රෝහිනී පවසයි.

"අපට හරිම සතුටක් දැනුනා, අපි ගොඩාක් සිනහ වුනා. අපි අපේ ස්වාමි පුරුෂයන්ගේ නම් කියලා කෑගැහුවා"

"එහෙත් නිවසට ගිය එක් කාන්තාවක් ඇයගේ සැමියාගේ නම කියල කෑ ගැහුවාම ඇයට කම්මුල් පාරක් ලැබුණා" රෝහිනී කාන්තාවන් මුහුණ දෙන අභියෝග තේරුම් ගෙන සිටින්නීය.

තමාගේ නම කියා යලිත් කතා කළොත් දරුණු දඬුවමක් දෙන බවට එම සැමියා සිය බිරිඳට අනතුරු අඟවා ඇත.

Image caption ගතානුගතික පවුල් සංස්ථාව තුළ ස්ත්‍රිය ද්විතීයික ස්ථානයක

එහෙත් නාගරික ඉන්දියාවේ දැන් වැඩෙමින් පවතින්නේ වෙනත් තත්වයකි.

කාන්තා අධ්‍යාපනය දියුණුවීම, බොහෝ කාන්තාවන් ශ්‍රම හමුදාවට එක්වීම, යෝජිත විවාහය පරාජය කරමින් ප්‍රේම විවාහය ජය ගැනීම හමුවේ බොහෝ ගති සිරිත් යල්පැන යමින් කාන්තාවන් සිය සැමියන්ට ඔවුන්ගේ නම් වලින් අමතනු අසන්නට ලැබෙයි.

එහෙත් 'එය තවමත් ඉතා සීමිත කුටුම්භ සම්ප්‍රදායක්ය' යන්න ඒ.ආර්.වාසවී සමාජ මානව විද්‍යාඥවරියගේ තක්සේරුවයි.

"ග්‍රාමීය ඉන්දියාවේ දශ ලක්ෂ ගණනක් පවුල් ඇතුලෙ ඒ වෙනස සිදු වෙලා කියල කියන්න බැහැ. ඒවගේමයි! නාගරික ගතානුගතික පවුල්වලත් එහෙම වෙනසක් දකින්න නැහැ. මනමාලියක් සම්ප්‍රදාය බිඳගෙන ඉදිරියට යන්න හැදුවොත් නැන්දම්මලයි අනිත් නාකි ගෑනුයි නැගී සිටීවි" ඒ.ආර්.වාසවී පවසයි.

තවත් සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර