දේශ සීමා නොතකන බොක්සිං ක්‍රීඩකයෙක්

  • 2017 අගෝස්තු 7
Image caption තිස් එක් හැවිරිදි විජේන්දර් සිං ඔලිම්පික් ලෝකඩ සම්මානලාභී බොක්සිං විරුවෙකි.

ඉන්දියාව සහ චීනය දේශසීමා ප්‍රශ්න මුල්කර ගනිමින් දිගටම විරසක වෙමින් සිටිද්දී ඉන්දියානු ක්‍රීඩා තරුවක් දෙරට අතර පවතින ගැටුම්කාරී උණුසුම සමනය කිරීමේ අදහසින් 'පරිත්‍යාගයක්' සිදුකර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික මුහුණුවරක් ගනු ලබන සාම පණිවුඩය දී තිබෙන්නේ ඉන්දීය බොක්සිං ක්‍රීඩක විජේන්දර් සිං (Vijender Singh) විසිනි.

පසුගිය සෙනසුරාදා (අගෝස්තු 05) මුම්බායි නගරයේ දී චීන ජාතික බොක්සිං ක්‍රීඩකයකු සමඟ සටන් වැදී ජයගත් විජේන්දර් සිං, තමා ලද සම්මානය ඉන්දියාව සහ චීනය අතර හොඳහිත නංවාලීමේ පියවරක් වශයෙන් සිය ප්‍රතිවාදී චීන ක්‍රීඩකයාට පරිත්‍යාග කළේය.

තිස් එක් හැවිරිදි විජේන්දර් සිං ඔලිම්පික් ලෝකඩ සම්මානලාභී බොක්සිං විරුවෙකි.

විජේන්දර් සිං බොක්සිං තරඟයකදී ජයග්‍රාහකයාට පිරිනමනු ලබන සම්මාන පටය තමන් අතින් පරාජය වූ චීන ක්‍රීඩකයාට පිරිනමමින් 'තමාට සාම පණිවුඩයක් දීමට අවශ්‍ය කරන' බව කියා සිටියේය.

එය සිදු වුණේ ඉන්දීය සහ චීන හමුදා දෙරට අතර හිමාලය දේශසීමාවේ විරසක වෙමින් සිටින අතරයි.

එහෙත් ඇතැම් ඉන්දියානුවන් විජේන්දර් සිං විසින් දෙනලද පණිවුඩය ඒ ආකාරයටම තේරුම් නොගනිති.

"චීනය සෙනසුරාදා මුම්බායි නගරයේ දී විශාල පරාජයක් ලැබුවා. 'ඩොක්ලාම්' (Doklam)දේශ සීමාවෙදීත් සිද්ධ වෙන්නේ ඒකම තමයි" බාබා රාම්දේව් නම් ව්‍යාපාරික යෝගී ගුරු පවසයි.

Image copyright AFP
Image caption දෙරටේ හමුදා දේශසීමාවේ සීරුවෙන්

විජේන්දර් සිං සිය ජයග්‍රාහී බොක්සිං පළඳනාව පරාජිත චීන ක්‍රීඩකයාට පිරිනමන ලද නමුත් ක්‍රීඩා තරඟ භාර නිලධාරීන් එය එසේ පැවරීමට අවසර දෙනු ඇද්ද? යන්න තවමත් අපැහැදිලි ය.

එසේම පරාජිත චීන ක්‍රීඩකයාගේ ප්‍රතිචාරය කුමක්ද? යන්නත් දැන ගැනීමට නැත.

ඉන්දියාව සහ චීනය අතර දේශසීමා අවුල පවතින්නේ චීනය සමග ඊශාන දිග ඉන්දියාවේ 'සීකිම්' ප්‍රාන්තය සහ භූතානය යාවෙන බිම් කඩක් ඔස්සේ ඉදි කෙරෙන චීන මාවතක් මුල්කර ගෙනයි.

චීනය සහ භූතානය අතරත් දේශසීමා අවුලක් පවතී.

එම ආරවුලේදී ඉන්දියාව භූතානයට සහාය පළ කරයි.

එම මාවත ඉදි කෙරුනොත් මූලෝපායී මට්ටමින් දුෂ්කර තත්වයක් පවතින ඊශාන දිග ඉන්දියාවේ ප්‍රාන්ත හතක් සම්බන්ධ කෙරෙන සැතපුම් දොළහක් (කිලෝමීටර් 20)පමණ පුළුල් බිම් තීරයට පහසුවෙන්ම පිවිසීමට චීනයට හැකි වනු ඇතැයි ඉන්දියාව බිය පළ කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර