පැරිසියේ ප්‍රහාරයක්; සොල්දාදුවන් දෙදෙනකුට බරපතලයි

  • 2017 අගෝස්තු 9
Image copyright Reuters
Image caption මෝටර් රථ ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ගත් ඡායාරූපයකි

පැරිස් නගරයේ Levallois-Perret නම් කලාපයේ දී මෝටර් රථයකට යට කරන ලද මුර සංචාරක හමුදා භටයන්ගෙන් හය දෙනකුට තුවාල සිදු වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්වය බරපතළ බව ප්‍රංශ පොලිසිය පවසයි.

එය "සිතා මතා එල්ල කරන ලද ප්‍රහාරයක් බවට කිසිදු සැකයක් නැතැයි" ප්‍රහාරය සිදු කෙරුණ 'Levallois Perret' ප්‍රදේශයේ නගරාධිපතිවරයා කියා සිටියි.

නගරාධිපතිවරයා එම මෝටර් රථ ප්‍රහාරය විග්‍රහ කළේ "පිළිකුල් සහගත ක්‍රියාවක්" හැටියටයි.

ප්‍රහාරකයන් විසින් යොදා ගන්නා ලදැයි පැවසෙන BMW වර්ගයේ රථය සොයා ගැනීමේ මෙහෙයුමක් මේවනවිට පෙරට යමින් පවතී.

2015 වසරේ නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය තවමත් ප්‍රංශය තුළ බල පැවැත්වෙයි.

එහෙත් 2015 වසරේ පටන් මේ දක්වා එම භූමියේ එල්ල කෙරුණ ප්‍රහාර වලින් 230 කට අධික ජීවිත විනාශයක් වාර්තා වී ඇත.

පසුගිය සෙනසුරාදා තරුණයෙක් පිහියක් ද රැගෙන 'අයිෆල්' කුළුණට ඇතුල් වීමට උත්සාහ කළ අතර ආරක්ෂක අංශ විසින් ඔහු නතර කරන ලද අවස්ථාවේ "දෙවියන් ශ්‍රේෂ්ටයි"(Allahu Akbar) යනුවෙන් එම පුද්ගලයා කෑ ගැසූ බව ප්‍රංශ වාර්තා මගින් පැවසුණි.

තමාට "සොල්දාදුවකු මරා දැමීමට අවශ්‍ය කරන" බව එම තරුණයා ප්‍රකාශ කළ බවක් ද එක් වාර්තාවක දැක්වෙයි.

Image copyright Reuters
Image caption ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ 'Levallois Perret' නගර ශාලාව අසලදීය

පසුගිය ජුනි මාසයේ පැරිස් නගරයේ කිතුනු දේවස්ථානයක් ඉදිරිපිට දී නිලධාරියකුට මිටියකින් පහර දුන් පුද්ගලයකුට පොලිසිය විසින් වෙඩි තබනු ලැබුණි.

තවත් ප්‍රහාරකයෙක් පසුගිය අප්‍රියෙල් මාසයේ පොලිස් භටයකුට වෙඩි තබා මරා දැමූ අතර, ආරක්ෂක හමුදා විසින් පසුව එම ප්‍රහාරකයාට වෙඩි තබා ඔහුත් මරා දමන ලද බව ප්‍රකාශයට පත් කෙරුණි.

විශාල පිහියකින් සන්නද්ධ වූවෙක් පැරිස් අගනුවර මුර සංචාරයේ නිරත ආරක්ෂක භටයකුට සිදු කළ පහර දීමක් පසුගිය පෙබරවාරි මාසයේ වාර්තා විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර