මැදියම් රෑ නිවසින් බැහැර යාම 'කාන්තාවන්ට අකැපද?'

  • 2017 අගෝස්තු 10
Image copyright Palak Sharma
Image caption "දැන් මහ රෑ, මම ඉන්නේ පිට" යනුවෙන් පලක් ශර්මා සිය ට්විටර් පිටුවේ පළ කල ඡායාරූපය

තරුණියන් සහ කාන්තාවන් රාත්‍රියේ නිවසින් පිට යාම සම්බන්ධයෙන් පවතින මතය බොහෝ විට සමාජයෙන් සමාජයට වෙනස් වේ.

මේ අතර නිවසින් පිටත ගොස් රාත්‍රිය සතුටින් ගත කරන ආකාරය දැක්වෙන ඡායාරූප ඉන්දීය තරුණියෝ සිය සමාජ ජාල ගිණුම් තුළ පළ කරමින් සිටිති.

ඉන්දීය තරුණියන් එවැනි ක්‍රියාමාර්ගයකට යොමුව ඇත්තේ පුරුෂයන් දෙදෙනකු විසින් ලුහුබැඳීමට ලක් වූ තරුණියක් "එතරම් රෑ වී නිවසින් බැහැරව නොයා යුතුව තිබූ බව" පවසමින් දේශපාලනඥයෙකු කළ ප්‍රකාශයකට ප්‍රතිචාරයක් වශයෙනි.

උතුරු දිග ඉන්දියාවේ චන්දිගර් නගරයේ DJ සංගීත ශිල්පිනියක් ලෙස කටයුතු කරන වර්නිකා කුන්ඩු පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවස බලා එමින් සිටියදී පුරුෂයන් දෙදෙනෙකුගේ ලුහුබැඳීමකට ලක්ව ඇති බව පැවසේ.

එම පුරුෂයන් දෙදෙනා අතර පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ පුතෙකු ද සිටින බවට චෝදනා එල්ල වේ.

බදාදා (අගෝස්තු 09) විකාස් බරාලා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුට එරෙහිව "රහසින් ලුහුබැඳීම, මත්පැන් පානය කර රිය පැදවීම සහ පැහැර ගෙන යාමට තැත් කිරීම" යන චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

තමන්ව "ලුහුබැඳ පැහැර ගැනීමට තැත් කළ" බව කී වර්නිකා තමන් "දූෂණයට ලක් වී වැතිර නොසිටින්නේ හෝ මරා දමා කොතැනක හෝ අතහැර දමා ගොස් නැත්තේ" උපකාර ඉල්ලා ලබා දුන් දුරකථන ඇමතුමට පොලිසිය ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ බැවින් යයි සඳහන් කරන්නීය.

"ඇයගේ වරදින්"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ඉන්දීය තරුණියන් මැදියම් රැයේ සෙල්ෆි පළ කරන්නේ ඇයි?

තමාට මුහුණ දීමට සිදු වූ අත්දැකීම පිළිබඳ වර්නිකා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කිරීමත් සමග එය සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය.

ඒ අතරතුර, ඇයට එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූයේ ඇයගේ වරදින් බව හර්යානා ප්‍රාන්තය නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රම්වීර් භට්ටි පැවසීය.

"ඒ ගෑනු ළමයා රෑ දොළහට එළියට යා යුතුව නොතිබුණා" යනුවෙන් ඔහු CNN-News18 රූපවාහිනී සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

"එතරම් රෑ වෙලා ඇය වාහනයක් පැද ගියේ ඇයි? වටාපිටාව එතරම් හොඳ නැහැ. අපි ගැන අපි පරිස්සම් විය යුතුයි"

ඉන් අනතුරුව The Times of India වෙත අදහස් දක්වමින් "දෙමව්පියන් දරුවන්ගෙ ආරක්ෂාව ගැන සොයා බැලිය යුතුයි. රෑ එහා මෙහා යන්න ඔවුන් දරුවන්ට ඉඩ නොදිය යුතුයි. දරුවන් වෙලාවට ගෙදර ආ යුතුයි. ඇයි රෑට එළියේ ඉන්නේ?" රම්වීර් භට්ටි පැවසීය.

"විපතට පත් තැනැත්තියට වරද පැටවීමට"

"විපතට පත් තැනැත්තියට වරද පැටවීමට" ගත් උත්සාහයට විරෝධය ප්‍රකාශ කර #AintNoCinderella හෑෂ් ටැගය භාවිත කරමින් ඉන්දීය තරුණියෝ රාත්‍රියේ නිවසින් පිට ගොස් ලබා ගත් සිය ඡායාරූප සමාජ ජාල තුළ පළ කිරීම ආරම්භ කළහ.

සමාජ ජාල ඔස්සේ එම විරෝධතා ව්‍යාපාරය දියත් කළේ ඉන්දීය විපක්ෂය නියෝජනය කරන කොංග්‍රස් පක්ෂයේ සමාජ ජාල අංශයේ ප්‍රධානී මෙන්ම කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රසිද්ධ නිළියක් වන දිව්‍යා ස්පන්දනා විසිනි.

Image copyright Divya Spandana
Image caption සමාජ ජාල ඔස්සේ විරෝධතා ව්‍යාපාරය දියත් කරන ලද්දේ දිව්‍යා ස්පන්දනා විසිනි

"කාන්තාවන් රෑ මැදියමේ එළියට යා යුතු නැත්තේ ඇයි? භට්ටි මහත්මයා වැනි අයගෙන් මම අහන්නේ අපට ඇඳිරි නීති පනවන්න ඔවුන් කවුද? අපව ප්‍රශ්න කරන්න ඔහු කවුද? මේක හරිම පසුගාමී සිතුවිල්ලක්" යනුවෙන් දිව්‍යා ස්පන්දනා බීබීසී වෙත අදහස් දක්වමින් සඳහන් කළාය.

රාත්‍රියේ නිවසින් බැහැරව ගොස් සිටින ආකාරය දැක්වෙන සිය ඡායාරූපයක් ට්විටර් සමාජ ජාලයේ පළ කළ ඇය එසේ කරන ලෙස සෙසු කාන්තාවන්ගෙන් ද ඉල්ලා සිටියාය.

සැමවිට කාන්තාවන් මත වරද පටවන පිතෘමූලික අදහස් අභියෝගයට ලක් කරමින් එම විරෝධතා ව්‍යාපාරයට එක් වූ ඉන්දීය කාන්තාවන් සිය ගණනක් ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සිය ඡායාරූප පළ කළහ.

රාත්‍රියේ ගත් ඡායාරූප සමාජ ජාල තුළ පළ කළ පළමු කිහිප දෙනා අතර ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ප්‍රනාබ් මුඛර්ජිගේ දියණිය ද සිටී.

කාන්තා විරෝධය

Image copyright sharmilamandre
Image copyright sharika menon

බීමක් තොල ගාමින් කැමරාව දෙස බලා ඇසඟින් ඉඟි කරන ආකාරය දැක්වෙන සිය ඡායාරූපයක් මාධ්‍යවේදිනියක වන පලක් ශර්මා විසින් සමාජ ජාලයේ පළ කරනු ලැබ ඇති අතර එය ඇගයීමට ලක් කරමින් විශාල පිරිසක් අදහස් පළ කර තිබේ.

"නමුත් පසුගිය දින දෙකේ මට තර්ජනත් එල්ල වුනා. මම දුරාචාරයේ යෙදෙන ස්ත්‍රියක් ලෙසත් හැඳින්වූවා" ඇය බීබීසීය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්