තව දින කිහිපයකින් ප්‍රහාර සුදානම් -උතුරු කොරියාව

  • 2017 අගෝස්තු 10
Image copyright AFP
Image caption ගුවාම් හි ස්ථාපනය කර ඇති ඇමරිකානු හමුදා කඳවුරු තුළ ඇමරිකානු භටයන් 6,000ක් සහ ප්‍රහාරක යානා රඳවා තිබේ

ශාන්තිකර සාගරයේ පිහිටි ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත අසලට මිසයිල හතරක් එල්ල කෙරෙනු දැක ගතහැකි සැලැස්ම තව දින කිහිපයකින් සුදානම් වනු ඇති බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ, තම රටේ නායක කිම් ජොන්ග් අන් අදාළ සැලැස්ම අනුමත කළහොත් මෙම මිසයිල ජපාන භූමියට ඉහළින් පියාසර කොට ගුවාම් දූපතට සැතපුම් 17ක් පමණ නුදුරින් මුහුදට පතිත වනු ඇති බවය.

මෙම ප්‍රහාරය සඳහා උතුරු කොරියාව තුළ නිෂ්පාදිත, මධ්‍යම හා දිගුදුර අතර පරාසයේ හ්වාසොංග් - 12 වර්ගයට අයත් මිසයිල යොදා ගන්නා බව උතුරු කොරියානු හමුදාව නිවේදනය කළේය.

"රෙජීමයේ අවසානය"

Image caption කිම් ජොන්ග් අන් සහ ට්‍රම්ප් අතර වාග් සංග්‍රාමය උත්සන්න වෙමින් පවතිද්දී

උතුරු කොරියාවේ ක්‍රියා කලාපය, එරට "රෙජීමයේ අවසානය" බවට පත්විය හැකි යයි පවසමින් එක්සත් ජනපදය අනතුරු අඟවා තිබුණි.

ඇමරිකාවට එරෙහිව කෙරෙන ඕනෑම ආකාරයක යුද්ධයක් සඳහා උතුරු කොරියාව හෝ එහි මිත්‍ර රටවල් "කිසිසේත්ම තරම් නොවන" බව එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පැවසීය.

උතුරු කොරියාව කර ඇති තර්ජනය හුදෙක් දේශාභිමානය සඳහා කරන ලද්දක් බවත් එවැනි පහරදීමක් සිදු කළහොත් එය උතුරු කොරියානු රෙජීමයට "දිවි හානි කරගැනීමක්" විය හැකි බවටත් ගුවාම් හි බොහෝ වැසියන් සිතන බව එහි සිටින බීබීසී මාධ්‍යවේදී රූපට් වින්ග්ෆීල්ඩ් හේස් කියා සිටියේය.

ගුවාම් දූපත අසලට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්ම පිළිබඳව උතුරු කොරියානු හමුදාව විසින් නිවේදනය කරනු ලැබුවේ, ලෝකය මින් පෙර නොදුටු "විනාශකාරී කොපාග්නියකට" උතුරු කොරියාව මුහුණ දෙනු ඇතැයි යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව ප්‍රකාශයක් කිරීමෙන් පැය කිහිපයක් ඉක්ම යද්දී ය.

Image caption ඇමරිකාවට එරෙහිව උතුරු කොරියාවේ පැවති විරෝධතා රැළියක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි

කුඩා නමුත් වැදගත් වූ ගුවාම්:

•පිලිපීනය සහ හවායි දූපත් අතර පිහිටි වර්ග කිලෝමීටර 541ක (වර්ග සැතපුම් 209) විශාලත්වයකින් යුත් ගුවාම් දූපත කොරල්පර සහ ගිනි කඳු සහිතය.

•ජනගහනය 163,000කි.

•ජනතා ඡන්දයෙන් තේරී පත්වූ ආණ්ඩුකාරවරයෙක් සහ මන්ත්‍රී මණ්ඩලයක් සිටිති.

•ගුවාම් හි උපත ලබන සියලුදෙනාට ඇමරිකානු පුරවැසිභාවය හිමිවන නමුත් එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඔවුනට හිමි නොවේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ගුවාම් දූපත ගැන මේ කරුණු දැන සිටියාද?

•ගුවාම් දූපතේ මුළු භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකක් වෙන්වී ඇත්තේ ඇමරිකානු හමුදා කඳවුරු සඳහාය.

•ගුවාම් හි ස්ථාපනය කර ඇති ඇමරිකානු හමුදා කඳවුරු තුළ ඇමරිකානු භටයන් 6,000ක් සහ ප්‍රහාරක යානා රඳවා තිබේ. තවත් ඇමරිකානු භටයන් දහස් ගණනක් එහි යැවීමට සැලසුම් කර ඇත.

•දෙවන ලෝක යුද සමයේදී පවා ගුවාම් දුපතේ ස්ථාපනය කර තිබු ඇමරිකානු හමුදා කඳවුරු යුද මුලෝපායී වශයෙන් වැදගත් විය.

•ඇමෙරිකානු හමුදා මෙහෙයුම් සඳහා ඉතා වැදගත් ස්ථානයක් වූ මෙහි සිට දකුණු චීන මුහුද, කොරියානු අර්ධද්වීපය මෙන්ම තායිවාන සමුද්‍ර සන්ධිය වෙත ප්‍රවේශය සැපයේ.

"වන්දි ගෙවිය යුතුයි"

Image caption ගුවාම් දූපතේ පිහිටීම

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැර දැමීමට පෙළඹවීම සඳහා පීඩනයක් එල්ලකිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේ නව ආර්ථික සම්බාධක ප්‍රකාශයට පත්කිරීමත් සමග එරට කෝපයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීය.

එම ආර්ථික සම්බාධක අනුමත කිරීම උතුරු කොරියාව විසින් පෙන්වාදෙනු ලැබුවේ "අපගේ ස්වෛරීබව ප්‍රචණ්ඩකාරීව උල්ලංඝනය කිරීමක්" ලෙසිනි. ඉන් නොනැවතුණු එරට, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව "වන්දි ගෙවිය යුතුයි" යැයි ද පැවසීය.

මෙම තහංචි පැනවීම සිදුවූයේ කලාපයේ දේශපාලන තත්වය උණුසුම් කරමින් උතුරු කොරියාව විසින් මිසයිල අත්හදා බැලීම් කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුවය.

"මෑත ඉතිහාසයේ, ඕනෑම රටකට පනවන ලද බරපතළ ම තහංචි මාලාව" මෙය බව එක්සත් ජාතීන් වෙනුවෙන් සිටින ඇමරිකානු නියෝජිතවරිය වන නිකී හේලි පැවසුවාය.

මෙම අලුත් තහංචි පැනවීමෙන් මද වෙලාවකට පසුව චීනය කියා සිටියේ උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීම් නතර කළයුතු බවය. චීනය සැලකෙන්නේ උතුරු කොරියාවේ ජාත්‍යන්තර මිත්‍රයා ලෙසිනි.

නමුත් නව සම්බාධක පැනවීමට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව කියා සිටියේ තම න්‍යෂ්ටික අවි වැඩසටහන දිගටම කරගෙන යන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර