නවාස්ගේ ආසනයට ඔහුගේ බිරිඳ

  • 2017 අගෝස්තු 11
Image copyright Getty Images
Image caption හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ බිරිඳ කුල්සූම් නවාස්

පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ධුරයෙන් ඉවත් වීමත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා පැවැත්වෙන අතුරු මැතිවරණයට ඔහුගේ බිරිඳ තරඟ කරනු ඇති බව එරට ආණ්ඩු බලය හොබවන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශවය පවසයි.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා වශයෙන් කටයුතු කළ නවාස් ෂරීෆ් එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 28 වෙනිදා තීන්දු කළේය.

ලාහෝර් ඡන්ද කොට්ඨාශය සඳහා පැවැත්වෙන අතුරු මැතිවරණයට තරඟ කිරීම සඳහා සිය පක්ෂය විසින් කුල්සූම් නවාස් වෙත නාම යෝජනා ලබා දෙනු ලැබූ බව පාකිස්තාන මුස්ලිම් ලීග නවාස් පාර්ශවය වැඩිදුරටත් කියා සිටියේය.

ඇය මීට පෙර මැතිවරණයකට තරග කර නොමැත.

ආදායම්

2013 වසරේ සිය නාම යෝජනා භාර දීමේ දී හිටපු අගමැති නවාස් ෂරීෆ් ඩුබායි මූලස්ථානය කර ගත් සමාගමකින් ලබා ගත් ආදායම් පිළිබඳ හෙළි නොකර වංක චේතනාවෙන් කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.

හිටපු අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග ඛනිජ තෙල් අමාත්‍යංශය භාරව කටයුතු කළ ඔහුට පක්ෂපාතී ෂහිඩ් ඛාකන් අබ්බාසි අන්තර්වාර අගමැතිවරයා වශයෙන් තෝරා පත් කර ගැනීමට පාකිස්තාන මුස්ලිම් ලීග නවාස් පාර්ශවය පියවර ගත්තේය.

සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් දේපළ මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව අවධාරණය කරයි.

අගමැතිවරයාගේ බලය යොදාගනිමින් නීති විරෝධී ලෙසින් වත්කම් උපයා ගන්නා බවට විරුද්ධ පක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට චෝදනා කරති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර