"ඔක්සිජන් නොමැතිව" කුඩා දරුවන් 60 දෙනෙකු මරුට

  • 2017 අගෝස්තු 12
Image copyright AFP
Image caption මෙතරම් දරුවන් ප්‍රමාණයක් මියයාමට හේතුව දෙමාපියන් දැන සිටියේ නැත

"ඔක්සිජන් සැපයුම නතරවීම හේතුවෙන්" ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ළමුන් 60 දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.

ඔක්සිජන් සැපයුම අඩාල වූ බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් පිළිගෙන ඇති නමුත් මෙම ළමුන් මිය යාමට එය හේතුවක් වී නොමැති බව ඔවුහු පවසති.

අතින් ක්‍රියා කරවන ශ්වසන ආධාරක මගින් ළමුන්ට ඔක්සිජන් ලබා දීමට සාත්තු සේවිකාවන් උත්සාහ දරමින් සිටි බවත් ළමුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් එහි රැස්වීම හේතුවෙන් කලබලකාරී වාතාවරණයක් පැවතුණු බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

Image copyright AFP
Image caption ළමුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් එහි රැස්වීම හේතුවෙන් කලබලකාරී වාතාවරණයක්

මිය ගිය ළමුන්ගෙන් වැඩි පිරිස අලුත උපන් බිළිඳු දරුවෝ වෙති.

මෙම ළමුන් පිරිස මිය ගොස් ඇත්තේ පසුගිය සඳුදා පටන් දින පහක් ඇතුළත ය. රෝහල් බලධාරීන් පවසන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ පමණක් ළමුන් තිස් දෙනෙකු පමණ මිය ගිය බවය.

Image copyright AFP
Image caption ළමුන් මිය යාමෙන් අනතුරුව රෝහල් සේවකයෝ ඔක්සිජන් සිලින්ඩර පරීක්ෂා කළහ

ඔක්සිජන් සැපයුම්කරුට මුදල් ගෙවීම පමාවීම හේතුවෙන් ප්‍රශ්නයක් මතුවී තිබුණු බව දිස්ත්‍රික්ක බලධාරී අනිල් කුමාර් හෙළිදරව් කළ නමුත් ඔහු කියා සිටියේ බොහෝ ළමුන් "අසාධ්‍ය තත්වයෙන්" සිටියදී රෝහලට ඇතුළත් කර තිබීම නිසා "සවාභාවික හේතූන් මත" මෙම ළමුන් මිය යන්නට ඇති බවය.

"අපිට අද රාත්‍රියේ හෝ හෙට වනවිට අලුතින් ඔක්සිජන් සිලින්ඩර ලැබෙනවා. සැපයුම්කරුට ගෙවීමට තිබු මුදල් ද නිදහස් කර තිබෙනවා." යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්