බුර්කිනා ෆාසෝ: ත්‍රස්ත ප්‍රහාරයෙන් 18 දෙනෙකු මරුට

  • 2017 අගෝස්තු 14
A wounded restaurant customer sits on the ground after the attack Image copyright Reuters

බුර්කිනා ෆාසෝ අගනුවර මධ්‍යයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 18 දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව ආණ්ඩුව පවසයි.

Ouagadougou අගනුවර භෝජන ශාලාවක අසුන් ගෙන සිටි ජනතාවට තුවක්කුකරුවන් වෙඩි තැබූ බව ඇසින් දුටුවෝ පවසති.

ප්‍රහාරකයන් දෙදෙනෙකුවත් මරා දමා ප්‍රහාරය නිමා කළ අතර, ඉන් අනතුරුව ආරක්ෂක හමුදා අසල්වැසි ගොඩනැගිලි සෝදිසි කරමින් සිටින බව බලධාරීහු පවසති.

සහෙල් (Sahel) පළාතේ ක්‍රියාත්මක අල කයිඩා සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කෙරෙන බව බුර්කිනෝ ෆාසෝ හි සිටින බීබීසී වාර්තාකරු ඇලෙක්ස් ඩුවල් ස්මිත් (Alex Duval Smith) පවසයි.

යතුරු පැදිවලින් පැමිණි ප්‍රහාරකයන් බුර්කිනා ෆාසෝ වේලාවෙන් ඉරිදා රාත්‍රී 9ට පමණ ආපන ශාලාවේ සිටි පිරිසට වෙඩි තැබීම ආරම්භ කළ බව පොලිසිය පවසයි.

Image copyright AFP

ප්‍රහාරයෙන් මියගිය 18 දෙනා අතර ප්‍රහාරකයන් ද සිටින්නේ ද යන්න තවමත් අනාවරණය වී නැත.

මියගිය පිරිස අතර එක් තුර්කි ජාතිකයෙකු ද සිටින බව තුර්කියේ විදේශ අමාත්‍යවරයා සනාථ කළ අතර, ප්‍රංශ ජාතිකයෙකු ද මියගොස් ඇති බව තහවුරු නොවූ වාර්තාවල දැක්වේ.

ප්‍රහාරය එල්ල වූ ආපන ශාලාව අසලම පිහිටි බොජුන් හලකට ගිය වසරේ ජනවාරි මාසයේ ජිහාඩ්වාදීන් එල්ල කළ ප්‍රහාරයකදී 170 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවා ගන්නා ලද අතර, 30 දෙනෙකු මරුමුවට පත්විය.

බුර්කිනා ෆාසෝ රාජ්‍යය පිහිටා තිබෙන සහෙල් කලාපය තුළ 2012 සිට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාකාරීව සිටිති.

එම ජිහාඩ්වාදීන්ට එරෙහිව ක්‍රියාකිරීම පිණිස අප්‍රිකානු රාජ්‍ය විසින් බහුජාතික හමුදා කණ්ඩායමක පිහිටුවනු ලැබ තිබෙන නමුත් මේ වසර අග භාගය වන තුරු එය ක්‍රියාත්මක නොවේ.